අයවැයෙන් වෙන් කරන ප්‍රතිපාදන අදාළ මූල්‍ය වර්ෂය තුළම වැය කර කඩිනමින් ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට කැපවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක්
අම්පාර බහුකාර්ය නගර ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනපති පවසයි
ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම් දරන වසර බවට 2027 වසර පත් කරමින් ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රුපියල් මිලියන 1,744.85ක වියදමින් සිදු කෙරෙන අම්පාර බහුකාර්ය නගර ශාලාවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (22) පෙරවරුවේ එක් වෙමිනි.
අම්පාර නගර සභාවට සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ පහසුකම් ඉහළ නැංවීම මෙන්ම වෙළෙඳ ප්‍රජාවට නීත්‍යානුකූල සහ විධිමත් භූමියක් තුළ තම ව්‍යාපාර දියුණු කර ගැනීමට අවස්ථාව සැලසීමත්, අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සංස්කෘතික ජීවිතය වැඩිදියුණු කිරීමත් අරමුණු කර ගනිමින්
වසර 70කට වඩා වැඩි කාලයක් ඉටු නොවී පැවතී ජනතා අවශ්‍යතාවක් ඉටු කරමින් නවීන පහසුකම්වලින් සමන්විතව මෙම බහුකාර්ය ගොඩනැගිල්ල ඉදි කෙරේ.
නවීන තාක්ෂණයෙන් යුත් රංග ශාලාවක්, සාප්පු සංකීර්ණයක්, කාර්යාල සංකීර්ණයක් සහ විශාල ප්‍රමාණයේ රථ වාහන අංගණයකින්ද මෙම බහුකාර්ය ගොඩනැගිලි සංකිර්ණය සමන්විත වන අතර, මෙහි ඉදිකිරීම් 2028.12.31 දින වන විට අවසන් කිරීමට නියමිතය.
වසර ගණනාවක් අම්පාර නගර සභාවේ උන්නතිය වෙනුවෙන් කැප වූ එහි කම්කරුවෙකු ලෙස සේවය කරන ඊ ඩී හේමචන්ද්‍ර මහතාද මෙම අවස්ථාවට ආරාධිතයකු ලෙස සහභාගි වීම විශේෂත්වයකි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ මාර්ග, පාලම්, ඇළවේලි සහ ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් 2026 වසර සඳහා රුපියල් මිලියන 22,000ක ප්‍රතිපාදන ලබා දී ඇති බවත්, මෙම ප්‍රතිපාදන 2026 මූල්‍ය වර්ෂය තුළම නිසි ලෙස යොදවමින් ජනතාවට කඩිනමින් ප්‍රතිලාභ සැලසීමට කැපවීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
“අපි ආණ්ඩුවක් ලෙස මුහුණ දී තිබෙන අභියෝගය වන්නේ අපි වෙන් කරන ප්‍රතිපාදන අදාළ මූල්‍ය වර්ෂය තුළ වැය කර අවසන් කිරීමයි. මේ අම්පාර දිස්ත්‍රික්කයේ මාර්ග, පාලම්, ඇළවේලි, ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් මේ 2026 වසර සඳහා රුපියල් මිලියන 22,000ක් ලබා දී තිබෙනවා. මෙම ප්‍රතිපාදන කළමනාකරණ කරමින්, නිසි ලෙස සැලසුම් සකස් කර, වැඩ කිරීමේ කාර්යභාරය රජයේ නිලධාරීන්ට පැවරී තිබෙනවා. මේ වසරට සැලසුම් කළ වැඩ මේ වසරේම කර ගත නොහැකි වුවහොත් එය ඉදිරි වසරට යනවා. එවිට එම වසරේ වැඩ තවත් ඉදිරියට යනවා.
ඒ නිසා, අප මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ මේ වෙන් කරන ප්‍රතිපාදන අදාළ මූල්‍ය වර්ෂය තුළ නිසි පරිදි වැය නොකිරීම නිසා ඇති වන ගැටලුවයි. මම මේ මෑතකදී ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක වාර්තාවක් කැඳෙව්වා. එම වාර්තාව අනුව ව්‍යාපෘතිවලට ඇස්තමේන්තුගත කර තිබූ මුදල රුපියල් බිලියන 300යි. ප්‍රමාද වී නිසි කාලයට එය අවසන් කිරීමට නොහැකි වීම නිසා බිලියන 600ක වියදමක් දැරීමට සිදුව තිබෙනවා. ඒ කියන්නේ තවත් ඒ වගේ වැඩ කොටසක් කරන්න පුළුවන් අමතර මුදල් ප්‍රමාණයක්.
ඒ නිසා මේ වෙන් කරන ප්‍රතිපාදන නිසි පරිදි වැය කිරීම අපේ අපේක්ෂාවයි. ලංකාවේ වැඩිම ප්‍රාග්ධන වියදම් දරන වසර බවට අපි ලබන වසර පත් කරනවා. ලබන වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 2000ක් වෙන් කිරීමට සැලසුමක් සකස් කර තිබෙනවා.
ඉතා හොඳ මූල්‍ය කළමනාකරණයක් පවත්වා ගැනීමට සමත් වීම හේතුවෙන් භාණ්ඩාගාරය සතුව ශක්තිමත් ගිණුමක් තිබෙනවා. 2022, 2023 සමයේ භාණ්ඩාගාර බැංකු අයිරාව රුපියල් බිලියන 800යි. භාණ්ඩාගාරය ක්‍රියාත්මක වුණේ ණයට. හැබැයි, අපි සමත් වී තිබෙනවා ධන තැන්පතුවක් සමග භාණ්ඩාගාරය පවත්වාගෙන යන්න. ඒ නිසා අපිට හැකි වී තිබෙනවා ග්‍රාමීය ජනතාවගේ අත්‍යවශ්‍ය වැඩ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න.
අපි පසුගිය දා අදාළ දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරු වෙන වෙනම හමුවෙලා කෙරෙන්න අවශ්‍ය වැඩ මොනවාද කියලා විමසුවා. ඒ වැඩවලට අවශ්‍ය ප්‍රතිපාදන ලබන අයවැයෙන් වෙන් කරන්න පුළුවන්. එහෙත් ඒ මුදල් නිසි පරිදි වැය කිරීමේ වගකීම ඔබ හමුවේ තිබෙනවා”
මහා සංඝරත්නය සහ සර්වාගමික පුජකවරුද, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස යන මහත්වරුද, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල රත්නායක මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, අම්පාර නගරාධිපති ඉන්දික විජේවික්‍රම, පළාත් ප්‍රධාන ලේකම් M.W.G. දිසානායක යන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ පිරිසක්ද, අම්පාර දිස්ත්‍රික් ලේකම් අනූපම මංගල වික්‍රමාරච්චි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහුද, ප්‍රදේශවාසීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.