Thursday, May 07, 2026
Follow Us
පුත්තලම දිස්ත්‍රික්කයේ කෘෂි මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් ඇරඹේ

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක කෘෂි මාර්ග සංවර්ධන කටයුතු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) ආරම්භ කෙරිණි.

ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහ කුරටිහේන වැව පෝෂක මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුද ඊයේ ආරම්භ වූ අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ 18කට අධික මුදලක් වැය කිරීමට අපේක්ෂා කෙරේ. මාස තුනක් ඇතුළත එම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය.

පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වතුපොළ වැව – තොරවටාන වැව සම්බන්ධ කෘෂි මාර්ග සංවර්ධන කටයුතුද ඊයේ (06) ආරම්භ වූ අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ 43ක මුදලක් වැය කිරීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ කෘෂිකාර්මික ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීමට හැකි වනු ඇත.

නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වීරගස්වැව පෝෂක කෘෂි මාර්ග සංවර්ධන කටයුතුද ඊයේ ආරම්භ වූ අතර, ඉදිරියේදී පහළ බූගහවැව සහ කොටුවැල්ල වැව පෝෂක මාර්ග, ගොවිපල්ලිය, අචිරිගම වැව සහ වගායාමඩුව වැව පෝෂක මාර්ග මෙන්ම වීරවැව සහ දමුණ අමුණ පෝෂක මාර්ගද සංවර්ධනය කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘති මඟින් පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ ප්‍රවාහන පහසුකම් ඉහළ නැංවීමත්, කෘෂි නිෂ්පාදන වෙළෙඳපොළ වෙත කාර්යක්ෂමව ප්‍රවාහනය කිරීමත් අපේක්ෂා කෙරේ. එමෙන්ම ඉදිරියේදී දිස්ත්‍රික්කයේ තවත් මාර්ග පද්ධති රැසක් සංවර්ධනය කිරීමටද සැලසුම් කර ඇත.