Thursday, May 07, 2026
Follow Us
සමුපකාර ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට මහජන බැංකුව සහ සමුපකාර අරමුදල එක්වෙයි

“සමුපකාර ව්‍යාපාරය” මහජන බැංකුව සමඟ එක්ව වඩාත් සක්‍රීයව ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (06) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

සමුපකාර ප්‍රතිපත්තිය සාර්ථක කර ගැනීමට දෙපාර්ශ්වය අතර ඉදිරි කටයුතු සම්බන්ධීකරණය කරමින් ඊට අවශ්‍ය මූලික පදනම සකස් කිරීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.

 “කෝප් සිටි” (Co-op City) සංකල්පය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන බැංකුව සහ සමුපකාර අරමුදල අතර සහයෝගීතාවය ශක්තිමත් කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

දැනට ක්‍රියාත්මක නිෂ්පාදන සමුපකාර 1000ක් ගොඩනැගීමේ වැඩසටහන පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සමුපකාර ව්‍යාපාරයේ සියලු කොටස්කරුවන්ගේ තොරතුරු ඇතුළත් විධිමත් දත්ත පද්ධතියක් (Shareholder Database) කඩිනමින් ස්ථාපිත කිරීම, සමුපකාර භාරකාර අරමුදලක් (Cooperative Trust) පිහිටුවීම සහ කොටස්කරුවන්ගේ ප්‍රාග්ධන දායකත්වයන් ඒකාබද්ධ කරමින් විශේෂ භාරකාර අරමුදලක් ස්ථාපිත කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

මෙම අවස්ථාවට සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්, මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී ක්ලයිව් ෆොන්සේකා මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරන පිරිසක් සහභාගී වූහ.