ශ්‍රී ලංකා - වියට්නාම සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ එරට කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලාම් මහතා අද (07) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 55 වැනි සංවත්සරය සැමරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 වසරේ දී යෙදුණු වියට්නාම රාජ්‍ය සංචාරයෙන් අනතුරුව, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව වියට්නාම ජනාධිපතිවරයාගේ මෙම රාජ්‍ය සංචාරය සිදු වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම සංචාරය අතරතුර දී, දෙරටේ නායකයන් දෙදෙනා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රාශියක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා - වියට්නාම වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සංසදයේ සමාරම්භය ඇතුළු ඉහළ මට්ටමේ ක්‍රියාකාරකම් කිහිපයකට ද වියට්නාම ජනාධිපතිවරයා සහභාගි වනු ඇත.
ජනාධිපති ටෝ ලාම් මහතා සමඟ වියට්නාම රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් ප්රමුඛ දේශපාලන නායකයන් මෙම සංචාරයට එක්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවට පැමිණෙන වියට්නාම ජනාධිපතිවරයා හෙට (08) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබේ.