ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍රවල සිදුවන නව ප්‍රතිසංස්කරණවලට අනුගත වෙමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද අදාළ වෙනස්කම් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ජුල සුගත් රත්නායක මහතා යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද කීවාය.
ඒ වෙනුවෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව පසුගිය මාස හයක කාලය පුරා ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එම විද්වත් කමිටුවේ වාර්තාව පදනම් කර ගනිමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරනවා.
2025 වසරේ අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 281,810ක් වන අතර, ඉන් 176,538ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත. විෂය ධාරා අනුව සුදුසුකම් ලැබූවන් වන්නේ ජීව විද්‍යාව 32,935ක්, භෞතික විද්‍යාව 23,012ක්, වාණිජ 39,608ක්, කලා 58,269ක්, පොදු විෂය ධාරාව 4,199ක්, ඉංජිනේරු තාක්ෂණවේදය 12,472ක් සහ ජෛව පද්ධති තාක්ෂණවේදය 6,043කි. මෙම සිසුන් අතරින් 42,937ක් විශ්ව විද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිතයි.
අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සුරකිමින් විශ්ව විද්‍යාල සිසුන්ගේ පහසුකම් ඉහළ නැංවීමට රජය ප්‍රමුඛතාව ලබා දෙන අතර, පෙර වසරවල ප්‍රථම උපාධි ප්‍රවේශ සංඛ්‍යාව මෙවරත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.
2025/2026 අධ්‍යයන වර්ෂයේ සිට රුහුණ විශ්ව විද්‍යාලයට ‘භූගෝලීය තොරතුරු පද්ධති’ පාඨමාලාව සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ‘ඉලෙක්ට්‍රෝනික හා බුද්ධිමය පද්ධති ඉංජිනේරු විද්‍යාව’ පාඨමාලාව අලුතින් හඳුන්වා දී තිබෙනවා. මෙම නව පාඨමාලා දෙක සඳහා සිසුන් 50 බැගින් බඳවා ගැනීමට නියමිත අතර, කඩඉම් ලකුණු නිකුත් කර ලියාපදිංචි නාමලේඛන විශ්ව විද්‍යාල වෙත යැවීමට දැනටමත් පියවර ගෙන අවසන්.
පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කාදම් මස්තාන් මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යතුමිය,
මෙරට බොහෝ පෙරපාසල් පෞද්ගලික අංශය මඟින් පාලනය වන බැවින් ඔවුන්ට ස්ථිර පත්වීම් හෝ වැටුප් ලබා දීමට අමාත්‍යාංශයට වර්තමානයේ අවකාශයක් නැහැ. කෙසේ වුවත් පළාත් සභා යටතේ පවතින තෝරාගත් පෙරපාසල්වල ස්වෙච්ඡා ගුරුවරුන් සඳහා යම් දීමනාවක් ගෙවීමට දැනටමත් කටයුතු කරමින් පවතිනවා.
2027 වර්ෂය වන විට සමස්ත පෙරපාසල් අධ්‍යාපන ක්‍රමයම වෙනස් කරමින් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය එක්ව සිදු කරමින් සිටිනවා.
මීට අමතරව, ජාතික අධ්‍යාපන කොමිසමේ නිර්දේශ මත පෙරපාසල් අධ්‍යාපනය නියාමනය කිරීම සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් 2026 වසරේදී ස්ථාපනය කිරීමට නියමිතයි. ඒ යටතේ ගුරු මාර්ගෝපදේශ හා ආදර්ශ ක්‍රියාකාරකම් සංග්‍රහයන් සකස් කරමින් පළාත් මට්ටමින් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන් ද සැලසුම් කර තිබෙනවා.
ස්වෙච්ඡා ගුරුවරුන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, 2007.01.04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව නියමිත ගුරු සහයකයින් 4,700 දෙනාට අමතරව කිසිදු ස්වෙච්ඡා ගුරුවරයෙකු බඳවා නොගැනීමට ගෙන ඇති තීරණය තවදුරටත් ක්‍රියාත්මක වන බව අවධාරණය කළාය.