Tuesday, June 17, 2025
Follow Us
2026 වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් දියත් කරනවා – අගමැතිනිය

ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (16) දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය  ආචාර්ය හරිනි අමරසුරියගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

එළැඹෙන වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ මෙම වසරේ අගෝස්තු මාසයේ එළි දැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව මෙහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

2026 වසරේ සිට 1 සහ 6 ශ්‍රේණි සඳහාත්, 2028 වර්ෂයේ සිට 10 ශ්‍රේණිය සඳහාත් නව විෂය නිර්දේශය හඳුන්වා දීමට නියමිත බව අගමැතිනිය සඳහන් කළ අතර නව විෂය නිර්දේශයට අනුව 2029 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට කටයුතු කරන බවත් 9 වන  ශ්‍රේණියේ සිට වෘත්තිය අධ්‍යාපනය හඳුන්වා දීමට නියමිත බවත් එතුමිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

මෙහිදී ජාතික අධ්‍යාපන ආයතනයේ එක් එක් අංශ ප්‍රධානීන් තම අංශ මඟින් මෙක අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ කටයුතු ක්‍රියාත්මක වන ආකාරය සහ එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව අමාත්‍යවරිය දැනුවත් කරන ලදී.

මෙය විෂය නිර්දේශය සංශෝධනය කිරිම, ගුරු පුහුණුව, පරිපාලන හා යටිතල පහසුකම් සැලසීම, නිසි ඇඟයීම් ක්‍රියාවලියක් ඇති කිරීම සහ ප්‍රජා දායකත්වය යන කුළුණු 05ක් මත සිදු කරනු ලබන අධ්‍යාපන පරිවර්තනයක් බවත් ආකල්පමය අතින් පොහොසත් ගුරුවරුන් නිර්මාණය කිරිම ජාතික අධ්‍යාපන ආයතනවල වගකීම බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

තවද මෙකී නාමික ප්‍රතිසංස්කරණවලින් නොනැවතී මේවා ක්‍රියාත්මක වන ආකාරය පරීක්ෂා කිරීමට හා විධිමත් ඇගයුම් ක්‍රියාවලියක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය, එම ආයතනයේ සියලු අංශවල ප්‍රධානීන් සහභාගී වුහ.