Monday, June 16, 2025
Follow Us
විද්‍යා හා තාක්ෂණ ඇමැති Belt and Road Conference on Science & Technology Exchange සමුළුවට එක් වෙයි

මහජන චීන සමූහාණ්ඩුවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, චීන විද්‍යා ඇකඩමිය සහ චීන ඉංජිනේරු ඇකඩමිය විසින් සම සත්කාරකත්වය දරන ලද දෙවන Belt and Road Conference on Science & Technology Exchange සමුළුව සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා එක්විය.

"නවෝත්පාදනය සඳහා එක්වෙමින් සැමට සංවර්ධනය තහවුරු කරමු - Belt and Road සංකල්පය යටතේ විද්‍යා ,තාක්ෂණ හා නවෝත්පාදන මත පදනම් වූ ප්‍රජාවක් ගොඩනැගීම" යන්න තේමා කර ගනිමින් ජුනි මස 10 – 12 දක්වා යටතේ චීනයේ සිචුවාන් පළාතේ චෙන්ග්ඩු හි දී පැවැත්විණි. විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් වූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් 30 කට අධික සංඛ්‍යාවක් ඒකාබද්ධකරමින් සමුළුව පවත්වනු ලැබිණි

මෙම සමුළුව යටතේ පැවති විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය පිළිබඳ 2 වන Belt and Road අමාත්‍යවරුන්ගේ සම්මන්ත්‍රණය ඇමතූ වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
“මෙම වේගවත් පරිවර්තනමය යුගයේ දී, විද්‍යාව හා තාක්ෂණය තවදුරටත් මිනිසුන්ගෙන් ඈත් වූ ක්ෂේත්‍ර නොවේ - ඒවා ලෝකයේ වඩාත්ම සංකීර්ණ අභියෝගවලට අප විසින් දක්වනු ලබන ප්‍රතිචාරයන් සඳහා කේන්ද්‍රීය වේ. දේශගුණික අනුවර්තනය, මහජන සෞඛ්‍යය, ආහාර සුරක්ෂිතතාව හෝ ආර්ථිකමය සවිමත් බව යන ඕනෑම අභියෝගයක් සඳහාම පිළිතුරු දැනුම, නවෝත්පාදනය සහ සාමූහික කැපවීම තුළ පවතී.
ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් වූ ජාතික උපාය මාර්ගයන් තුළට විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය ඇතුළත් කිරීමට දැඩි ලෙස කැපවී සිටී. ඒ සඳහා අපගේ ප්‍රමුඛතා අතරට පර්යේෂණ සහ සංවර්ධන ධාරිතාව පුළුල් කිරීම, ආයතනික රාමු ශක්තිමත් කිරීම සහ විද්‍යාත්මක විමර්ශන සහ නවෝත්පාදනයන් සඳහා ප්‍රතිලාභ ලබා දෙන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම ඇතුළත් වේ.”
මෙරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස, සෙසු රටවල අමාත්‍යවරුන්, විද්‍යාඥයින් සහ නවෝත්පාදකයින් සමඟ අර්ථවත් සංවාදයක නිරත වූ වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා මෙසේ ද අදහස් දැක්වීය.

පූර්ණ සංවර්ධනයේ ධාවකයක් ලෙස ඩිජිටල් පරිවර්තනය කෙරෙහි අපේ විශේෂ අවධානය යොමු වී තිබේ. කෘත්‍රිම බුද්ධිය, දත්ත විද්‍යාව සහ ජෛව තාක්‍ෂණය වැනි නැගී එන තාක්ෂණයන් හරහා කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, මහජන සෞඛ්‍ය සහ ආපදා සඳහා සූදානම ඇතුළු අංශ රැසක් දැනටමත් නව්‍යකරණය කරමින් සිටී. මෙම තාක්ෂණයන් සම්පූර්ණයෙන්ම උපයෝගී කර ගැනීම සඳහා, ශ්‍රී ලංකාව විසින් ජාතික ඩිජිටල් යටිතල පහසුකම් සඳහා ඉහල ආයෝජනයන් සිදු කරන අතරම, ඒ සඳහා ප්‍රවේශ වීම සඳහා සහාය වන ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීමට ද පියවර ගෙන ඇත.

 

ඊට අමතරව මෙම විද්වත් සංවාදයේ දී, ‍ පර්යේෂණ උදෙසා ජාත්‍යන්තර සහයෝගීතාවයන්, රටවල් අතර ඒකාබද්ධ නවෝත්පාදන සහ තාක්‍ෂණ හුවමාරු වැඩසටහන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාව සූදානම් බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව Belt and Road කලාපය පුරා විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන සහ තාක්ෂණ මධ්‍යස්ථාන අතර ආයතනික සහයෝගීතාවයන් දිරිමත් කිරීමට සූදානමින් සිටින බවද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව පර්යේෂණ සහ නවෝත්පාදන කාර්යයන් සඳහා සිදුකෙරෙන ආයෝජනයන් දිරිගන්වන අතර පර්යේෂණ සංවර්ධන සහ නවෝත්පාදන ප්‍රමුඛ කොටගත් ව්‍යවසායකත්ව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් ඇතිකිරීම සඳහා ද පියවර ගනු ලබන බව පවසමින්, මෙරට විද්‍යා උද්‍යාන, නවෝත්පාදන බීජෞෂන මධ්‍යස්ථාන සහ දැනුම් කලාපවල අවස්ථා ගවේෂණය කරන ලෙස ජාත්‍යන්තර ආයෝජකයින්ට, සංවර්ධන නියෝජ්‍යායතන සහ තාක්ෂණ සමාගම්වලට විවෘත ආරාධනයක් සිදු කළේය.