ආර්ථික බිඳ වැටීමක් තුළ රාජ්‍යයක ස්වාධිපත්‍යය හා ස්වෛරීත්වය රඳා පවතින්නේ නැහැ
ආර්ථිකය ගොඩගැනීමට නව ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අත්‍යාවශ්‍යයි- ජනපති
වසර 2028 වන විට රට විසින් ගෙවිය යුතු විදේශ ණය ස්වශක්තියෙන් ගෙවීමට හැකි වන ආර්ථික වර්ධනයක් සහ ස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ආර්ථික බිඳ වැටීමක් තුළ රාජ්‍යයක ස්වාධිපත්‍ය හා ස්වෛරිත්වය රඳා නොපවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අවසන් ප්‍රතිඵලය විය යුත්තේ ජාතියක් ලෙස ස්වාධිපත්‍යය සහ ස්වෛරීභාවය අත්පත් කර ගැනීම බවද අවධාරණය කළේය.
ඒ වෙනුවෙන් ඉතා වෙහෙසකර සහ අත්නොහරින ව්‍යායාමයක තමා ප්‍රමුඛ රජය නිරතව සිටින අතර රාජ්‍ය නිලධාරින් සහ පුරවැසියන් ලෙස සියලුදෙනාගේ සහායද ඊට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ “ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනය: ණය සහ පාලනය” (Sri Lanka's Road to Recovery: Debt and Governance) මැයෙන් අද (16) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.
රට තුළ මතුපිට තලයේ ආර්ථික ස්ථාවරත්වයක් නිර්මාණය වි පැවතියද, එම තත්ත්වය ශක්තිමත් ලෙස ස්ථාවර කර ගනිමින් ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට නව ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අත්‍යවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
වත්මන් රජය යටතේ ඉතා කෙටි කලක් තුළ රටට ආර්ථික ජයග්‍රහණය රැසක් අත්කර දී තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම වැඩපිළිවෙළ ඉදිරියටම ක්‍රියාත්මක කරමින් රට ආර්ථික, දේශපාලන සහ සාමාජයීය වශයෙන් ජයග්‍රහණය කරවීම තම රජයේ අරමුණ බවද සඳහන් කළේය.
ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ අත්දැකීම්, උගත් පාඩම් සහ ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ප්‍රගතිය සහ ඉදිරි අභියෝග සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද මෙහිදි අදහස් දැක්වූහ.