Friday, May 22, 2026
Follow Us

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පරිසරයට සිදු වන බලපෑම සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අනුකාරක සභාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතීඥ) භාග්‍ය ශ්‍රී හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරයි.

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම අනුකාරක සභාව පත් කෙරිණි.

මෙහිදී නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පරිසරයට සිදු වන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පරිසර අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ තවත් ආයතන කිහිපයක් නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි වී සිටියහ. නොරොච්චෝ‍ලේ බලාගාරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් පරිසරයට වන බලපෑම, ඒ සම්බන්ධයෙන් වගකීම දරන පාර්ශ්ව හා ඒ ඒ ආයතනවලින් යම් අඩුපාඩුවක් සිදුව ඇත් ද යන්න පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධ වැඩි දුර කරුණු පරීක්ෂා කිරීම සඳහා මෙම අනුකාරක සභාව පත් කිරීම සිදු විය.

ශ්‍රී ලංකාවේ ජර්මානු, ජපාන හා චීන තානාපති කාර්යාල සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡා කොට එම රටවල බලාගාර ආශ්‍රිතව භාවිතා කරන නව තාක්ෂණය හඳුනාගැනීම සම්බන්ධයෙන් නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙසට කාරක සභාව විසින් ඉල්ලීමක් කරන බවද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසුවේය.