Sunday, May 05, 2024
Follow Us
ඉතාලියෙන් මෙරට ලබාගත හැකි සහයෝගය පිළිබඳ සොයා බැලේ 

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉතාලියේ පිහිටි ජාන ඉංජිනේරු විද්‍යාව හා ජෛව තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයෙන් සහ ජාත්‍යන්තර බහුවිධ පර්යේෂණ ආයතනයෙන් මෙරටට ලද හැකි සහයෝගාත්මක ප්‍රතිලාභ පිළිබඳ සොයා බලයි.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉතාලියේ පිහිටි ජාන ඉංජිනේරු විද්‍යාව හා ජෛව තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (ICGEB) මෙන් ම එරට ට්‍රයිස්ටේ නගරයේ පිහිටි ජාත්‍යන්තර බහුවිධ පර්යේෂණායතනයේ (Elettra Sincrotrone Trieste) නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අතර එම ලෝ ප්‍රකට නවීන තාක්ෂණික ආයතන දෙකෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව්‍යකරණයට ලද හැකි දායකත්වය පිළිබඳ සොයා බැලී ය. අමාත්‍යවරයාගේ මෙම සංචාරය ලොව ප්‍රමුඛ ජාත්‍යන්තර පර්යේෂණායතන සහ ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ තීරණාත්මක පියවරකි.

ජාන ඉංජිනේරු විද්‍යාව හා ජෛව තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට නියමිත ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනයේ (SLIBTEC) වත්මන් ප්‍රගතිය පිළිබඳ අදාළ දත්ත යාවත්කාලීන කිරීම් සිදු කිරීමට ද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම නිරීක්ෂණ චාරිකාව අතරතුර කටයුතු කළේ ය. ඉදිරි වසර පහ තුළ මෙරට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය පත් කිරීමේ දැක්මක් සහිත ව ක්‍රියා කරන බවත් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, විශ්වවිද්‍යාල, පාසල් හා ටෙලිකොම් ආයතනය වැනි ආයතන හා උපාය මාර්ගික වශයෙන් වැදගත් වන ලෙස ස්ථානීය පිහිටීමක් ද සහිත ව ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය පිහිටා ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය. නොමිලේ නවාතැන් සැපයීම, සිසුන්ට පොලී රහිත ණය ලබා දීම හා ශ්‍රී ලාංකික ආදිසිසුන්ගේ ආයෝජන දිරි ගැන්වීම වැනි දිරිගැන්වීම් හරහා මෙම ආයතනය ස්වාධීන ආයතනයක් වශයෙන් දියුණු කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම මෙහි දී පැවසී ය.

රටේ ජාතික සංවර්ධනයට උර දිය හැකි ආධ්‍යාපනික දායකත්වයක් සැපයීමේ දැක්මකින් යුතු ව ක්‍රියා කරන අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලාංකික සිසුන් සවිබල ගැන්වීමේ දී පර්යේෂණ හා නවෝත්පාදනවල විපුල කාර්යභාරය ද අවධාරණය කළ අමාත්‍යවරයා පිළිකා සහ ක්ෂුද්‍ර ජීවවිද්‍යා පර්යේෂණ මෙන් ම තාක්ෂණික හුවමාරුව හා ජෛව නිෂ්පාදන ක්‍රියාකාරකම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් එම ක්ෂේත්‍රයන්හි සහයොගීත්ව විභව ක්ෂේත්‍ර පිළිබඳ ව ද මෙහි දී සාකච්ඡා කර ඇත. ඉංජිනේරු විද්‍යාව හා ජෛව තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ විද්‍යාත්මක සම්බන්ධීකාරක ආචාර්ය විටෝරියා වෙන්ටූරි (Vittoria Venturi) මහතා එහි දී පවසා ඇත්තේ බාහිර වැඩසටහන් සහ අරමුදල් හරහා ලංකාවේ රසායනාගාර සංවර්ධනයට සහයෝගය ලබා දිය හැකි බවයි.

මෙම ඉතාලි සංචාරය අතරතුර ප්‍රාදේශීය විද්‍යා උද්‍යානයේ සභාපති මහාචාර්ය කැතරිනා පෙට්‍රිලෝ (Caterina Petrillo) මහත්මිය හමු වී පර්යේෂණ ආයතනයේ සහ විද්‍යාත්මක උද්‍යානයේ මූලික ක්‍රියාකාරකම් සහ ඉදිරි සංවර්ධන අරමුණු පිළිබඳ දැන ගැනීමට ද සුසිල් ප්‍රේමජයන්ත මහතාට අවස්ථාව සැලසී ඇත. අනතුරු ව ට්‍රයිස්ටේ ජාත්‍යන්තර බහුවිධ පර්යේෂණායතනයට ද ගිය අධ්‍යාපන අමාත්‍යවරයා එහි ප්‍රධාන විද්‍යා නිලධාරී සහ කදම්භ රේඛා විද්‍යාඥයන් හමු වී එම ආයතන හා ශ්‍රී    ලංකාව අතර සහයෝගීතාව වැඩි දියුණු කරගැනීමේ විවිධ ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡාවන්හි නිරත විය.

විද්‍යාත්මක සහ නවෝත්පාදන ක්ෂේත්‍ර ඔස්සේ ලෝකයට විවර වීමට සහ ගෝලීය පර්යේෂණායතන සමග උපායමාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම සහ උද්‍යෝගය අමාත්‍යවරයාගේ මෙම සංචාරය මගින් පිළිබිඹු වේ. ඉතාලියේ පිහිටි ජාන ඉංජිනේරු විද්‍යාව හා ජෛව තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ සහ එරට ට්‍රයිස්ටේ - ජාත්‍යන්තර බහුවිධ පර්යේෂණායතනයේ විශේෂඥ දැනුම සහ සම්පත් ශ්‍රී  ලංකාවේ ශාස්ත්‍රීය හා පර්යේෂණ ප්‍රගමනය සඳහා ඉවහල් කරගැනීමට මේ අනුව අප රටට ඉදිරියේ දී අවස්ථාව උදා වනු ඇත.