“පසුගිය රජයන් දේශපාලනය ප්රධාන කරගෙන රාජ්ය ආයතනවලට බඳවා ගැනීම් සිදු කළා. මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්ය ආයතන කොතරම් දේශපාලනීකරණය වූවාදැ යි රට ම දන්නවා.
බඳවා ගැනීම් කළ හැටි, ස්ථිර කරපු විදිය, කෝටි ගණන් මුදල් නාස්ති කළ විදිය ගැන දන්නවා. 2024 සැප්තැම්බර් 21 ජනතාව ගත් අභීත, නිවැරදි තීන්දුව මේ රට වෙනස් ගමනකට යොමු කළා. පසුගිය රජයන් හෘද සාක්ෂියක් නැතුව, නපුරු දේශපාලන අරමුණු ඇතිව කටයුතු කළා. එම යුගය නිමාකර අදූෂිත පාලන තන්ත්රයක් යටතේ සමානාත්මතාවයෙන් ක්රියාකරන පාලනයක් දැන් බිහිවී තිබෙනවා.”
ප්රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්ය සහ ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ අනියම් කම්කරුවන් ස්ථිර සේවයට පත්කිරීමේ පත්වීම් ලිපි ප්රදානෝත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි. මෙම පත්වීම් ලිපි ප්රදානය අද (08) වන දින කොළඹ 03, අරලියගහ මන්දිරයේ මහජන ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී උතුරු, නැගෙනහිර ඇතුළු දිවයිනේ පළාත් නවය ම නියෝජනය වන පරිදි සේවකයින් 704 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ලිපි පිරිනැමීම සිදු කෙරිණි. 2017 වසරෙන් පසු අධිකාරියේ ස්ථිර සේවයට අන්තර්ග්රහණය වූ මෙම සේවක පිරිස දිවයිනේ සෑම දිස්ත්රික්කයකම සේවය සඳහා අද දින සිට සක්රිය දායකත්වය ලබාදෙනු ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්ය බිමල් රත්නායක මහතා : “මාර්ග සංවර්ධන අධිකාරිය පසුගිය කාලයේ විවිධ වර්ගීකරණයන් යටතේ බඳවා ගැනීම් සිදුකර කිබෙනවා. සේවක අයිතිවාසිකම් වෙනුවෙන් මේ රජය කැපවෙනවා. දේශපාලන හේතු නිසා, පරිපාලන හේතු නිසා රැකියා අයිතියට හානි වෙන්න බැහැ. රැකියාවේ ස්ථිරභාවය කියන්නේ ජීවිතය පිළිබඳ ස්ථාවරභාවයක් ඇති කිරීමයි. අද එය සිදුකරලා තිබෙනවා. මේ නිසා ජීවිතයට සැලැස්මක් හදාගන්න පුළුවන් වෙලා තියෙනවා. පසුගිය පාලන කාලවලදී මාර්ග සංවර්ධන අධිකාරියට සේවක බඳවා ගැනීම් කළ හැටි, ස්ථිර කළ හැටි, සංවර්ධනයේ නාමයෙන් මුදල් වංචා කළ හැටි අනාවරණය වෙලා තිබෙනවා.
මේ රටේ හිටපු සමහර පාලකයින් නරක, නපුරු වැඩ කළේ තනිවම නොවේ. ඒවාට ව්යාපාරික කොටස්, නිලධාරි කණ්ඩායම්, සේවක පිරිස් තම හෙංචයියන් ලෙස යොදා ගත්තා. තම පාක්ෂිකයින්ට කැත හෘද සාක්ෂියෙන් යුතුව, නපුරු දේශපාලන අරමුණු ඇතිව කටයුතු කළා. පසුගිය සැප්තැම්බර් 21 ඒ නපුරු සංස්කෘතිය නැති කරලා දූෂණයෙන් තොරව වැඩ කරන්න, ජනතාවට වගකියන පාලනයකට ජනතාව වරම දුන්නා. ඒ අනුව පාක්ෂිකයින්ට පමණක් සැලකූ එදා සංස්කෘතිය මේ අදූෂිත පාලනය යටතේ අපි අවසන් කළා. එමනිසා ජනවරමේ සාරය තේරුම්ගෙන, රට ගොඩ නගන්න සියලු දෙනා එක්වෙන්න ඕනි. සියලුම දෙනා ජනවරමට යටත්. ඊට උඩින් කවුරුවත් නැහැ. පක්ෂ, පාට, පළාත්, ජාති බේදයෙන් තොරව අද සමාන ලෙස පත්වීම් ලැබෙන්නේ පසුගිය සැප්තැම්බර් 21 සාරයේ ප්රතිඵල ලෙසයි. අට පහ සේවය වෙනුවට රට ගැන සිතා වැඩි සේවාවක් ලබාදී අනෙකා වෙනුවෙන් වැඩ කරන සංස්කෘතියක් හදමු. එකිනෙකා ගැන හිතන සමාජයක් ගොඩනගමු. මේ රට ඔබේ, අයිතිය ඔබට. රජය ලෙස අපි ඔබලා බලා ගන්නවා. ඔබ සියලු දෙනා රට සහ ජනතාව වෙනුවෙන් සේවය කරන්න.”
මෙම අවස්ථාවට ප්රවාහන හා මහාමාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්ය අමාත්ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු, ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි, ප්රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, අධ්යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි, නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් විමල් රාජපක්ෂ යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.