රුපියල් මිලියන 255 කට අධික (රුපියල් කෝටි 25.5 ක) වටිනාකමකින් යුත් 'කුෂ්' (Kush) වර්ගයේ විෂ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු අද (02) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි වියේ පසුවන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද පෙරවරු 11.50 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 403 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇත.
සැකකරු ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ රතු මාවත (Arrival Red Channel) ඔස්සේ පිටව යාමට උත්සාහ කිරීමේදී, කටුනායක ගුවන් තොටුපළ ශ්‍රී ලංකා රේගු කාර්ය මණ්ඩලය විසින් ඔහුව පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී ඔහු රැගෙන ආ ගමන් මලු තුළ තිබූ වාහන සයිලන්සර (දුම්බට) තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා ගෙන ආ ග්‍රෑම් 25,550 ක (කිලෝග්‍රෑම් 25.5 ක) බරින් යුත් මෙම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට රේගු නිලධාරීහු සමත් වූහ. එහි සම්පූර්ණ වටිනාකම රුපියල් 255,500,000 ක් ලෙස රේගුව විසින් ගණනය කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සහ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාර දීමට රේගුව විසින් පියවර ගෙන තිබේ.