‘දිට්වා’ සුළි කුණාටුවෙන් කැඩී බිඳී විනාශයට පත් වූ මාරවිල සිට හලාවත දක්වා ගමන් කළ හැකි මුහුදුබඩ මාර්ගයේ ඉරණවිල පාලම ඉන්දීය රජයේ මූල්‍ය හා තාක්ෂණික ප්‍රතිපාදන යටතේ යළි ඉදි කිරීමෙන් අනතුරුව ඊයේ (18) ජනතා අයිතියට පත් කෙරිණි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් මෙම ප්‍රදේශයේ ප්‍රවාහන පද්ධතියට එල්ල වූ දැඩි බලපෑම හමුවේ ඉරණවිල ජනතාව මාස කිහිපයක් තිස්සේ පාරු මගින් සිය ගමනාගමන කටයුතු සිදු කළ අතර මෙම නව පාලම ඉදිකිරීමත් සමඟ එම අර්බුදයට ස්ථිර විසඳුම් ලැබී ඇත.
විශේෂයෙන්ම හලාවත රෝහලට පැමිණෙන රෝගීන්, පාසල් දරුවන් සහ ප්‍රදේශයේ ධීවර හා කෘෂිකාර්මික ප්‍රජාව මුහුණ දුන් දුෂ්කරතාවලට ස්ථිර විසඳුම් හිමි වූ අතර එතෙක් කල් පැවති දුෂ්කර පාරු ගමන නිමාවට පත්වීම පිළිබඳව ප්‍රදේශවාසීහු සිය සතුට පළ කර සිටිය හ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා මෙසේ පැවසී ය
" ‘දිට්වා’ සුළි කුණාටුව අවස්ථාවේදී අපට දැවැන්ත අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ මොහොතේදී අප මුහුණ දුන් දැවැන්ත ආපදා තත්ත්වය සමනය කර ගැනීමට ඉන්දියාව ලබාදුන් දායකත්වය ඉතාම විශාලයි. ඒ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා සහ වත්මන් රජය වෙනුවෙන් ඉන්දීය රජයටත්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාටත් අපගේ කෘතඥතාව පළ කරනවා. "
ඉන්දීය රජය විසින් මෙරටට ලබාදුන් ඩොලර් මිලියන 450ක මූල්‍ය පැකේජය යටතේ ඉදි කළ දිගම පාලම මෙය වන අතර, එය අඩි 240ක දිගින් සහ අඩි 11ක පළලින් යුක්ත ය. මෙම පාලමෙහි පාදම සැකසීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 70ක මුදල් වැය කොට ඇති අතර ඉන්දීය හමුදා ඉංජිනේරු කාර්ය සාධක බලකාය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සම්බන්ධීකරණයෙන් මෙම ව්‍යාපෘතිය නිම කර තිබේ. මෙම සහයෝගීතාවය යටතේ ඉදිරියේදී දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක පාලම් 15ක් ඉදි කිරීමට නියමිත බව ද ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා මෙහිදී අනාවරණය කළේ ය.
මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, ඉන්දීය හමුදා නිලධාරීන් සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.