ව්‍යවසායකත්වය මෙරට ආර්ථික වර්ධනයට සහ ජාතික සංවර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රධාන බලවේගයක් බවට පත්කරමින් ආර්ථික ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම රජයේ ප්රමුඛ අරමුණක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසී ය. " රුහුණු අභිමන් 2026" ව්‍යවසායක සම්මාන උළෙල හා එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා ය.
මාතර දිස්ත්‍රික් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කළ ‘රුහුණු අභිමන් 2026’ ව්‍යවසායක සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ඊයේ (12) වැලිගමදී පැවැත්විණි.
මෙම උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යවරිය,
පසුගිය වසර දෙකේ දී රට තුළ ඇති කරගත් ආර්ථික ස්ථාවරත්වය පදනම් කරගනිමින් ඉදිරි වසර තුන තුළ ද ආර්ථික ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම සඳහා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ මෙවර අයවැය මඟින් ඉදිරිපත් කර ඇති බවත්, රටේ සියලු ජන කොටස් ආර්ථික ප්රවාහයට සම්බන්ධ කරගනිමින්, එමඟින් උත්පාදනය වන ප්රතිලාභ සාධාරණව බෙදාහැරීම සඳහා අවශ්‍ය පියවර රැසක් මෙවර අයවැය තුළ ඇතුළත් කර ඇති බවත්පැ වසී ය.
රැකියා අවස්ථා උත්පාදනය කිරීම, ජනතාවගේ ආදායම් ඉහළ නැංවීම, දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම සහ නව නිෂ්පාදන හා සේවා හඳුන්වාදීම මගින් ව්‍යවසායක ප්‍රජාව මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව වැනි රටකට ඵලදායිතාව මත පදනම් වූ, අපනයන කේන්ද්‍ර කරගත් සහ අභියෝග හමුවේ ඔරොත්තු දිය හැකි ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ව්‍යවසායකත්ව ක්ෂේත්රය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළා ය.
ව්‍යවසායකයන් දේශීය වෙළෙඳපොළට පමණක් සීමා නොවී ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ තරග කළ හැකි උසස් ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ හා සේවා බිහිකිරීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, එහිදී පරිසර හිතකාමී මෙන්ම තිරසර ව්‍යාපාරික ආකෘති වෙත යොමුවීම මෙන්ම නවීන තාක්ෂණය ව්‍යාපාරික කටයුතු සඳහා උපයෝගී කරගනීන් ඩිජිටල් අලෙවිකරණය, ඩිජිටල් ගෙවීම් සහ දත්ත මත පදනම් වූ ව්‍යාපාර කළමනාකරණය වැනි ක්‍රමවේද ඔස්සේ ව්‍යාපාරවල කාර්යක්ෂමතාව ඉහළ නැංවෙන ආකරය පිළිබඳව ද අදහස් දැක්වී ය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඉදිරියට යාමටත්, ප්‍රාදේශීය ආර්ථිකයන් ශක්තිමත් කිරීමටත් අවශ්‍ය අවස්ථා සහ පහසුකම් රටේ සෑම ප්රදේශයකටම ව්‍යාප්ත කිරීම රජයේ අරමුණ බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරිය, කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීමේ වැදගත්කම අවධාරණය කරමින් ඔවුන්ට මූල්‍ය පහසුකම්, තාක්ෂණය, ව්‍යාපාරික සබඳතා සහ වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේදී මුහුණදීමට සිදුවන බාධා ඉවත් කරමින් ව්‍යාපාර කිරීමට අවශ්‍ය නිදහස් පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නාය.
එමෙන්ම ලබන වසරේ සිට හය වැනි ශ්‍රේණියට හඳුන්වාදීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ හයවැනි ශ්‍රේණියේ සිට මූල්‍ය සාක්ෂරතාව සහ ව්‍යවසායකත්වය නව විෂය ක්ෂේත්‍ර ලෙස හඳුන්වාදීමට සැලසුම් කර ඇති බවත් ඒ තුළ සියලු දරුවන්ට මූල්‍ය සාක්ෂරතාව සහ ව්‍යවසායකත්වය පිළිබඳ දැනුම ලබාදීම රජයේ අපේක්ෂාව බවත් පැවසී ය. එසේ කිරීමෙන් සියලු දරුවන් ව්‍යවසායකයන් බවට පත් කිරීම රජයේ අරමුණ නොවන නමුත්, සෑම පුරවැසියකුටම මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ මූලික අවබෝධයක් තිබීමේ වැදගත් බව සහ එවැනි දැනුමෙන් සන්නද්ධ පරපුරක් බිහිකිරීම රටේ ආර්ථික පරිවර්තනය සඳහා අත්‍යවශ්‍ය වන ආකාරය අග්‍රාමාත්‍යවරිය විසින් මෙහි දී අවධාරණය කරනු ලැබීය.
මෙම උත්සව අවස්ථාව සඳහා දකුණුපළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති , බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්ක්‍රම් ඉලයාස් , ශ්‍රී ලංකාවේ ඉන්දුනිසියානු තානාපතිනී Dewi Gustina Tobing, ශ්‍රී ලංකාවේ ඉන්දියානු කොන්සල් ජෙනරාල් හර්වින්දර් සිං, ටොයොටා ලංකා සමාගමේ සභාපති ඔසාකි කවබතා, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර, මාතර දිස්ත්‍රික් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපති නජීබ් ඩීන් යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත අමුත්තන් මෙන්ම දකුණුපළාතේ ව්‍යවසායකයන් පිරිසක් ද සහභාගී වූහ.