Thursday, November 12, 2026
Follow Us
2027 අයවැය යෝජනා  - ඩිජිටල් යුගයක් කරා වූ ඩිජිටල් පරිවර්තනය සහ සංවර්ධනය

ඩිජිටල් යුගයක් කරා වූ ඩිජිටල් පරිවර්තනය සහ සංවර්ධනය සඳහා යෝජනා 2027 අයවැයෙන් ඉදිරිපත් කෙරිණි.

ඩිජිටල් පරිවර්තනය යනු තවදුරටත් හුදෙක් තාක්ෂණික මුලාරම්භයක් පමණක් නොව, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම, පාලනය ශක්තිමත් කිරීම, ආර්ථික වර්ධනය සඳහා පහසුකම් සැලසීම, සහ සෑම පුරවැසියෙකුටම රජයේ සේවා වෙත ප්‍රවේශ විය හැකි බව තහවුරු කිරීම සඳහා වන මූලික අවශ්‍යතාවයකි. රාජ්‍ය පරිපාලනයේ නව්‍යකරණය, රජයේ කටයුතුවල කාර්යක්ෂමතාවය හා පාරදාශ්‍යභාවය වැඩිදියුණු කිරීම හා ආයතනික ධාරිතාවය ශක්තිමත් කිරීම සඳහා වන මූලික මෙවලමක් ලෙස ඩිජිටල්කරණය හඳුනාගෙන ඇත.

මෙම ක්ෂේත්‍රය වර්තමාන ලෝකයේ වර්ධනය වී ඇති තත්ත්වයට ළඟා වීම අභියෝගාත්මක මෙන්ම බහුවිධ ක්‍රියාවලියකි. එමෙන්ම මෙම ක්ෂේත්‍රය නිරන්තරයෙන්ම යාවත්කාලීන වෙමින් පවතින බැවින්, මෙහි සැබෑ ප්‍රතිලාභ අත්පත් කර ගැනීමට නම් ප්‍රථමයෙන්ම ඒ සඳහා අවශ්‍ය නීතිමය සහ ආයතනික ව්‍යුහය ගොඩනැඟිය යුතු වේ.

  • රාජ්‍ය භාණ්ඩාගාරයේ 100% ක හිමිකාරීත්වය යටතේ රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීම සඳහා වූ මාර්ගෝපදේශනය හා ක්‍රියාවට නැංවීම සඳහා GovTech ආයතනය ස්ථාපිත කර දැනටමත් එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා.
  • පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (Personal Data Protection Act) සංශෝධන කොට, දත්ත ආරක්ෂණ අධිකාරිය මේ වෙන විට පිහිටුවා සක්‍රීය කර තිබෙනවා.
  • ඩිජිටල් ආර්ථික අධිකාරිය හා ජාතික ඩිජිටල් ආර්ථික කවුන්සිලය ස්ථාපිත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත (Digital Economy Bill) 2027 වසරේ මුල් කාර්තුවේ දී සම්මත කිරීමට බලාපොරොත්තු වෙනවා.
  • ඩිජිටල් ක්ෂේත්‍රයේ වර්ධනයත් සමග අත්‍යවශ්‍ය වන සයිබර් ආරක්ෂණය සඳහා වූ සයිබර් ආරක්ෂණ පනත (Cyber Security Bill) නීතිපති වෙත නිෂ්කාශනය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, ඒ යටතේ, 2027 වසරේ දී සයිබර් ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා.
  • රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය, ඩිජිටල් විසඳුම් සහ පහසුකම් මිලදී ගැනීමේ දී ගැටළු සහගත තත්ත්වයක් තිබෙනවා. එහෙයින්, ඩිජිටල් විසඳුම් සහ පහසුකම් සඳහා විශේෂිත වූ රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සකස් කොට මේ වන විටත් ප්‍රසම්පාදන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, 2027 මුල් භාගයේ දී මෙම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හඳුන්වා දීමට හැකිවෙනවා.

ඩිජිටල් ආර්ථික ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් වෙනුවෙන්;

  • ජාතික AI ධාරිතාවන් ගොඩනැඟීම සහ වගකීම් සහගත ලෙස AI භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය, විද්වත් ප්‍රජාව සහ කර්මාන්ත ක්ෂේත්‍රයන් එකම වහලක් යටට ගෙන එමින් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ විශිෂ්ටතා කේන්ද්‍රය (National Artificial Intelligence Centre of Excellence) විජේරාම මාවතේ පිහිටුවීම;
  • ඩිජිටල් පොදු යටිතල පහසුකම් හරහා රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ ප්‍රමිතියට සමාන්තරව, මෘදුකාංග ප්‍රසම්පාදනයේ දී අලුතින් නිපදවීමට පෙර ප්‍රමිතිගත විසඳුම් මිලදී ගැනීම සහ පොදු භාවිතයට ප්‍රමුඛතාව දීමේ ප්‍රතිපත්තිය (Shared Platform First and Buy Before Build Policy) ස්ථාපිත කිරීම;
  • Lanka Government Cloud (LGC) පද්ධතිය LGC 2.0 සිට LGC 3.0 දක්වා පුළුල් කිරීම සහ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) සඳහා වූ ස්වෛරී යටිතල පහසුකම්වල මූලික පදනම ස්ථාපිත කිරීම;
  • පුරවැසියන්ට රාජ්‍ය සේවාවන් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරීන් විසින් සපයනු ලබන සේවාවන් ඩිජිටල්කරණය කිරීම;
  • ඩිජිටල්කරණය වේගවත්ව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් උසස් කාර්යසාධනයක් පෙන්නුම් කරන රාජ්‍ය ආයතන ඇගයීම සඳහා “ජනාධිපති ඩිජිටල් විශිෂ්ටතා සම්මාන” වැඩසටහන ආරම්භ කිරීම;
  • ඩිජිටල් ආදායම් ආර්ථිකයක් කරා මෙහෙයවීම සඳහා GovPay, QR වැනි භෞතික වශයෙන් මුදල් භාවිතයෙන් තොර ගෙවීම් ක්‍රමවේද සඳහා අනුගතවීම හා ව්‍යාප්ත කරවීම;
  • තවද, විධිමත් නීතිමය රාමුවක් ස්ථාපිත කිරීම තුළින් ඩිජිටල් අතත්‍ය වත්කම් සේවා සපයන්නන් (Virtual Asset Service Providers – VASP) සඳහා අවශ්‍ය නියාමන පදනම සකස් කිරීම.
  • ප්‍රධාන උපායමාර්ගික ක්ෂේත්‍රවල ඩිජිටල්කරණය ජාතික ඩිජිටල් ආර්ථික සැලැස්ම සමඟ අනුගත කිරීම සඳහා ආංශික ඩිජිටල් සැලසුම් සකස් කිරීම සහ ආයතනික ඩිජිටල් පරිවර්තන ඒකක (DTU) මාර්ගයෙන් මෙහෙයුම් කටයුතු සිදු කිරීම;
  • දත්ත මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා ආයෝජන දිරිමත් කිරීමේ අපේක්ෂාවෙන් විධිමත් නිර්ණායක යටතේ තෝරාගත් ආයෝජකයන් දිරිමත් කිරීම සඳහා බලශක්ති ගාස්තු සහන හා අනෙකුත් දිරිගැන්වීම් ලබාදීම;
  • පාසල් සිසුන් අතර ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා තෝරාගනු ලැබූ පාසැල් සිසුන් 750,000 ක් සඳහා බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර්පත් ලබාදීම;
  • ශ්‍රී ලාංකික ව්‍යාපාර වෙත පුද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා, ඩිජිටල් නව ව්‍යවසායන් අරමුදල් වල අරමුදල (Digital Startup Fund of Funds) ශක්තිමත් කිරීම;

වූ යෝජනාවන් වෙනුවෙන් රු. මිලියන 10,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

1) ආයතනික සවිමත් කිරීම්, ප්‍රතිපත්ති හා නියාමන, 2) ඩිජිටල් රාජ්‍ය පරිවර්තනය, 3) ඩිජිටල් කර්මාන්ත සංවර්ධනය සහ වර්ධනය, 4) ඩිජිටල් ආදායම් ආර්ථිකය සවිබල ගැන්වීම, 5) උපායමාර්ගික කර්මාන්තවල ඩිජිටල් කටයුතු සවිබල ගැන්වීම, 6) සමස්තය-ඇතුළත් ප්‍රවේශය, භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ ධාරිතා සංවර්ධනය යන ප්‍රධාන ක්ෂේත්‍ර 6 යටතේ මෙරට ඩිජිටල් පරිවර්තනය හා ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනය සඳහා රුකුලක් වශයෙන් 2027 වර්ෂය සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වෙත දැනටමත් රු. මිලියන 18,500 ක් වෙන් කර ඇති අතර එය රු. මිලියන 28,500 ක් දක්වා ඉහළ නැංවෙනවා.

  • 2026 අයවැයට මා විසින් ඉදිරිපත් කළ යෝජනාවන් අතර වූ නව සන්නිවේදන කුළුණු සඳහා වන බද්ද වසර 5 ක කාලයකට ඉවත් කිරීමට රෙගුලාසි සම්පාදනය කළා. එම වැඩපිළිවෙළ තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මක කරවීම තුළින් අධිවේගී අන්තර්ජාල පහසුකම් රට තුළ ව්‍යාප්ත කරවමින්, 2030 වන විට ගමට සන්නිවේදනය වැඩසටහන යටතේ දිවයින පුරා අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල ආවරණය පුළුල් කිරීම සඳහා සන්නිවේදන කුළුණු 700 - 800 ත් අතර ප්‍රමාණයක අවශ්‍යතාවය තියෙනවා. එයින් සන්නිවේදන කුළුණු 573 ක්, 2028 වන විට අවසන් කරනවා. ඉදිකරන නව කුළුණක් වෙනුවෙන් වැය වන මුදලින් 75% ක් හෝ රු. මිලියන 35 ක් යන අගයන්ගෙන් අඩු මුදල ප්‍රදානයක් ලෙස ලබා දෙනවා. ඊට අමතරව විදුලි සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා රු. මිලියන 5 ක් ලබා දෙනවා. මේ වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් “ගමට සන්නිවේදනය” වැඩසටහන හරහා රු. මිලියන 9,000 ක් වෙන් කර තිබෙනවා.
  • මේ වන විටත් රටේ පවතින ජංගම දුරකථන (බ්‍රෝඩ්බෑන්ඩ්) සම්බන්ධතාව ජාලවල පවතින සේවා ගුණාත්මකභාවය සහ අත්දැකීම් ගුණාත්මකභාවය (Quality of service and Quality of Experience) ගැටලුකාර තත්ත්ව පවතින අතර, විශේෂයෙන්ම ගම්බද ජනතාව විශාල දුෂ්කරතාවකට පත්ව තිබෙනවා. එවා නිවැරදිව සොයාබැලීම සහ නිවැරදි කිරීම සඳහා ලංකාවේ ප්‍රථම වතාවට ඒ සඳහා ස්වයංක්‍රීය නිරීක්ෂණ පද්ධතියක් හඳුන්වාදීම 2027 වසරේ දී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අරම්භ කරන අතර, ඒ තුළින් රටේ ජංගම දුරකථන (බ්‍රෝඩ්බෑන්ඩ්) සම්බන්ධතා සපයන්නන්ගේ ජාලවල සේවා ගුණාත්මකභාවය සහ අත්දැකීම් ගුණාත්මකභාවය (Quality of service and Quality of Experience) ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා. මේ රටේ ජනතාවට අයිතිව තිබෙන සංඛ්‍යාත වර්ණාවලිය (frequency spectrum) මේ වනවිට ඵලදායී හා කාර්යක්ෂම කළමනාකරණයකින් තොරව ලබා දීම හේතු කොට ගෙන, රටට සිදුවන මූල්‍ය අවාසිය නිවැරදි කිරීමේ අරමුණෙන් ස්වයංක්‍රීය සංඛ්‍යාත වර්ණාවලි කළමනාකරණ පද්ධතියක් (Automated Spectrum Management systems) සහ ස්වයංක්‍රීය සංඛ්‍යාත වර්ණාවලි නිරීක්ෂණ පද්ධතියක් (Automated Spectrum Monitoring system) ස්ථාපනය කිරීම 2027 වසරේ ආරම්භ කරන අතර, මේ සියලුම පද්ධති මිලදී ගැනීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් රු. මිලියන 3,100 ක් වෙන් කර තිබෙනවා.
  • පුරවැසියන්ට රාජ්‍ය ආයතන වෙත භෞතිකව පැමිණීමකින් තොරව (presence-less) සේවා ලබාගැනීමේ අවස්ථාව කඩිනමින් පුළුල් කිරීමට පියවර ගන්නවා. ඒ අනුව, ග්‍රාමීය මට්ටමේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන සහ මධ්‍යම රජයේ මට්ටම දක්වා මහජනතාව බහුලව ලබාගන්නා බලපත්‍ර, අයදුම්පත්, අනුමැතීන් සහ ගෙවීම් ආශ්‍රිත ප්‍රමුඛ පෙළේ රාජ්‍ය සේවාවන් ඩිජිටල් මාර්ගයෙන් ඉටුකර ගැනීමේ පරාසය 2027 වසරේ සිට ක්‍රමිකව පුළුල් කරනු ඇත. ඉදිරියේදී ජාතික ඩිජිටල් හැඳුනුම්පත (Digital ID) හඳුන්වා දීම සහ එහි භාවිතය ව්‍යාප්ත වීමත් සමඟ, මෙම සේවාවන් වේගවත්ව හා තිරසරව ඉහළ නංවමින් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය පුරා ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනවා.

අපගේ අරමුණ වන්නේ ඩිජිටල් තාක්ෂණය තුළින් ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසු කරමින්, කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සහ තරගකාරී ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමයි.