Wednesday, November 11, 2026
Follow Us
බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්.

බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ රටවල් අතර මහජන සෞඛ්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ (NIHS) පවතින පහසුකම් හා ධාරිතාව වැඩිදියුණු කරමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සාමාජික රටවල් එකඟතාව පළ කර තිබේ.

මෙම වැදගත් එකඟතාව ඇති කරගනු ලැබුවේ, බිම්ස්ටෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රථම හමුවේදී වන අතර, ඒ අනුව කලාපීය මහජන සෞඛ්‍ය සහයෝගීතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට සුවිශේෂී ආයතනික කාර්යභාරයක් පැවරීමට නියමිතය.

මේ අතර, බිම්ස්ටෙක් සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුව අද (11) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී ආරම්භ වූ අතර, එහි සභාපති ධුරයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්විය. ඒ අනුව, සාමාජික රටවල් හත අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්තිමය සංවාද මෙහෙයවීම, පොදු එකඟතා ගොඩනැඟීම සහ ඉදිරි සහයෝගීතා වැඩපිළිවෙළ සම්බන්ධීකරණය කිරීමේ නායකත්ව වගකීම ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මියන්මාරය සහ තායිලන්තය යන සාමාජික රටවල් හතෙහි සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්තිමය සහයෝගීතාව පුළුල් කිරීම, දැනුම හා තාක්ෂණික අත්දැකීම් හුවමාරු කරගැනීම සහ කලාපීය මහජන සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණු වේ.

2025 අප්‍රේල් මාසයේ තායිලන්තයේ බැංකොක් නුවර පැවැති හයවැනි බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේදී කලාපීය සෞඛ්‍ය සහයෝගීතාව පුළුල් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවක් පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි. මහජන සෞඛ්‍ය සහයෝගීතාව සම්බන්ධයෙන් ප්‍රමුඛ රට ලෙස ශ්‍රී ලංකාවට පැවරී ඇති වගකීම අනුව මෙම සමුළුව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ඒ අනුව, නොවැම්බර් 10 සහ 11 දෙදින තුළ බිම්ස්ටෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රථම හමුව සහ සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කලාපීය බෝවන රෝග හා වසංගත වැළැක්වීම සහ පාලනය, මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවන්ට මුහුණදීමේ සූදානම, රෝග නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම, ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධය, ඩිජිටල් සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය, වෛද්‍ය පර්යේෂණ, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය බලපෑම් සහ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළිබඳ දැනුම හුවමාරු කරගැනීම ඇතුළු ප්‍රමුඛතා ක්ෂේත්‍ර රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ.

කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අමතරව, පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබඳ කලාපීය මධ්‍යස්ථානය ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ස්ථාපිත කිරීමටත්, සතුන්ගෙන් මිනිසාට බෝවන රෝග පිළිබඳ පර්යේෂණ ආයතනය බංග්ලාදේශයේ ස්ථාපිත කිරීමටත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හමුවේදී එකඟතා ඇතිකරගෙන තිබේ. මෙම ආයතන ස්ථාපිත කිරීම තුළින් කලාපීය සෞඛ්‍ය පර්යේෂණ, විශේෂඥ දැනුම හුවමාරුව සහ තාක්ෂණික සහයෝගීතාව සඳහා ශක්තිමත් ආයතනික පදනමක් ගොඩනැඟීම අපේක්ෂා කෙරේ.

එම හමුවේදී කලාපීය සෞඛ්‍ය සහයෝගීතාවට අදාළ ප්‍රගතිය සමාලෝචනය කරමින් ප්‍රමුඛතා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡා පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ද සකස් කර තිබේ. එහිදී සකස් කරන ලද න්‍යාය පත්‍රය සහ ඒකාබද්ධ අමාත්‍ය ප්‍රකාශනයේ කෙටුම්පත අද පැවැත්වෙන සමුළුවේදී සලකා බැලීමට නියමිතය. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මට්ටමින් හඳුනාගත් ප්‍රමුඛතා සහ යෝජනා අමාත්‍ය මට්ටමේ ප්‍රතිපත්තිමය සංවාදයට යොමු කරමින් අවශ්‍ය එකඟතා තහවුරු කරගැනීම එහි අපේක්ෂාවයි.

දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව යා කරන ප්‍රමුඛ කලාපීය සහයෝගීතා සංවිධානයක් වන බිම්ස්ටෙක්හි සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අමාත්‍ය මට්ටමේ ඉහළම ප්‍රතිපත්තිමය සංවාදයක් ප්‍රථම වරට පැවැත්වීම මෙම සමුළුවේ සුවිශේෂීත්වයයි. ජාතික සීමාවන් ඉක්මවා යන සෞඛ්‍ය අභියෝග හමුවේ සාමාජික රටවල් අතර සම්බන්ධීකරණය, සාමූහික ක්‍රියාමාර්ග සහ දීර්ඝකාලීන සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා මෙම සමුළුව වැදගත් පදනමක් වනු ඇත.

මෙම අවස්ථාවට බිම්ස්ටෙක් සාමාජික රටවල් නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ඉන්ද්‍ර මනි පාණ්ඩේ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.