Thursday, November 12, 2026
Follow Us

2027 අයවැය යෝජනාවෙන් සිසුන්ගේ අධ්‍යාපන දිමනා ඉහළට නංවා තිබේ. 

නූතන ලෝකයට අවශ්‍ය වන මානව සම්පත ගොඩනැංවීමේ දී විශාලතම කාර්යභාරය පැවරෙන්නේ අධ්‍යාපනයටයි. එහෙයින් ඒ සඳහා අවශ්‍ය වන අධ්‍යාපනය ගුණාත්මක පරිවර්තනයක් මෙන්ම අධ්‍යාපනය ලබා දීමේ නව තාක්ෂණික පරිවර්තනයක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් හා මානව සම්පත සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

  • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේවන විටත් පළමු ශ්‍රේණියට ආරම්භ කර ඇති අතර එළඹෙන වසරේ දී 2 හා 6 ශ්‍රේණි සඳහා ආරම්භ කරනවා.
  • අධ්‍යාපන විද්‍යාපීඨවල ගුරු පුහුණුව ලබන ශික්ෂණලාභීන් දරන මූල්‍යමය බර ලිහිල් කිරීම සඳහා, ඔවුන් වෙත ගෙවනු ලබන මාසික දීමනාව 2027 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි රු. 10,500 සිට රු. 20,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මෙය ඔවුන්ගේ ගුරු පුහුණු කාලය තුළ ලබාදෙන මූල්‍ය සහයෝගයක් මෙන්ම, අපගේ අධ්‍යාපන ක්‍රමයේ අනාගත වගකීම් භාරගැනීම සඳහා ඔවුන් සූදානම් කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරනවා.
  • පිරිවෙන්හි අධ්‍යාපනය ලබන සිසුන්ට සහාය වීම සඳහා, ඔවුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් භික්ෂු සිසුන් සඳහා ලබාදෙන දෛනික දීමනාව 2027 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි රු. 15 සිට රු. 50 දක්වා ද, ගිහි සිසුන් සඳහා ලබාදෙන දෛනික දීමනාව රු. 5 සිට රු. 25 දක්වා ද වැඩි කිරීමට අප කටයුතු කරනවා.
  • සාරධර්ම සපිරි සදාචාරාත්මක ගුණ ගරුක ළමා පරපුරක් බිහිකර ගැනීම උදෙසා දහම් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව රැකගැනීම සඳහා ස්වේච්ඡාවෙන් දායක වන දහම් පාසල් ගුරුවරුන් සඳහා 2027 වසරේ සිට දැනට ගෙවනු ලබන වාර්ෂික දීමනාව රු. 7,500 සිට රු. 12,500 දක්වා රු. 5,000 කින් වැඩි කිරීමට යෝජනා කරනවා.
  • චීන රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දෙනු ලබන පාසල් නිල ඇඳුම් ලබන වසරේ දී ඒ ආකාරයෙන්ම ලබා දීමට කටයුතු කරනවා. ඉදිරි වසර කිහිපයක් සඳහා ද එම පරිත්‍යාගය ලබා දීමට චීන රජය සිය එකඟතාව පල කොට තිබෙනවා.

 පාසල් අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තන වැඩසටහන

  • ද්විතීයික පාසල් සියල්ලටම විශ්වාසදායක අන්තර්ජාල සබඳතා ලබා දීම අපගේ ඉලක්කයයි. මේ වන විට මේ වසරේ ලබා දුන් සබඳතා 3,009 ක් ද ඇතුළත්ව පාසල් 6,225 කට විශ්වාසදායක අන්තර්ජාල සම්බන්ධතා ලබා දී තිබෙනවා. ඉතිරි පාසල් 750 ට කඩිනමින් ලබා දීමට කටයුතු කරනවා. ප්‍රාථමික පාසල් සඳහා ද මෙම වැඩසටහන ආරම්භ කරනවා.
  • ඩිජිටල් ඉගැන්වීම් සඳහා අවශ්‍ය පරිගණක සහ ස්මාර්ට් පුවරු ඇතුළු උපකරණ ලබාදීම, තොරතුරු තාක්ෂණ හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සහ ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (NEMIS) වැඩිදියුණු කිරීම, ආබාධ සහිත සිසුන් සඳහා ප්‍රවේශ විය හැකි අන්තර්කරණ ඩිජිටල් ඉගෙනුම් පහසුකම් සැපයීම හා ගුරුවරුන්ගේ ඩිජිටල් සාක්ෂරතාව හා තාක්ෂණික නිපුණතා ඉහළ නැංවීම ඇතුළත් වසර 5 ක් සඳහා වූ මෙම වැඩසටහන් වෙනුවෙන් රු. මිලියන 96,500 ක ඇස්තමේන්තුවක් කර තිබෙන අතර එහි මූලාරම්භය වෙනුවෙන් මෙම වසරේ වෙන් කර තිබෙන රු. මිලියන 4,000 ට අමතරව තවත් රු. මිලියන 3,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
  • මේ අනුව 2027 වර්ෂයේ ඩිජිටල්කරණය, ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ගුරු විද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, පාසල් ගොඩනැඟිලි, පාසල් විද්‍යාගාර හා ගුරු නේවාසිකාගාර සංවර්ධනය හා නවීකරණය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රු. මිලියන 35,000 ක් වෙන් කොට තිබෙනවා.

උසස් අධ්‍යාපන

  • රු. මිලියන 8,000 ක ආයෝජනයක් සහිතව පේරාදෙණිය සහ වයඹ විශ්වවිද්‍යාලවල අංගසම්පූර්ණ වෛද්‍ය පීඨය හා සායනික ගොඩනැඟිලි ඉදිකිරීමට 2027 වසර සඳහා රු. මිලියන 450 ක් වෙන් කර තිබෙනවා.
  • නැගෙනහිර විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය සඳහා අංගසම්පූර්ණ ගොඩනැඟිල්ල, රුහුණ සහ සබරගමුව විශ්වවිද්‍යාල සඳහා පරිගණක හා පර්යේෂණ පහසුකම් සහිත විද්‍යාගාර සංකීර්ණ, යාපනය විශ්වවිද්‍යාලයේ සම-සෞඛ්‍ය විද්‍යා පීඨය, කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය හා විද්‍යා පීඨය සඳහා ගොඩනැඟිලි, රජරට විශ්වවිද්‍යාලය සඳහා විද්‍යාගාර සංකීර්ණය සහ ඌව වෙල්ලස්ස, කොළඹ විශ්වවිද්‍යාලයන්හි කළමනාකරණ පීඨ සඳහා බහුකාර්ය ගොඩනැඟිලි ඉදිකිරීම ඇතුළුව, අධ්‍යයන හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රු. මිලියන 2,250 ක් වෙන් කර තිබෙනවා.
  • හාඩි උසස් තාක්ෂණ ආයතනය, මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල පවතින නේවාසිකාගාර පහසුකම් වැඩිදියුණු කිරීම, යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චි පරිශ්‍රය සඳහා පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම, ශ්‍රී ජයවර්ධනපුර, නැගෙනහිර සහ යාපනය විශ්වවිද්‍යාලයන්හි අපජල පිරිපහදු පද්ධති සංවර්ධනය කිරීම යන සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් රු. මිලියන 717ක් ඇතුළුව දැනට කෙරීගෙන යන ශිෂ්‍ය සුබසාධක වැඩ සඳහා රු. මිලියන 6,250 ක් වෙන් කර තිබෙනවා.
  • වව්නියා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙනුවෙන් නේවාසික පහසුකම් සැපයීම වෙනුවෙන් රු. මිලියන 2,050 ක නිල නිවාස ව්‍යාපෘතිය 2027 වර්ෂයේ දී ආරම්භ කිරීමට යෝජනා කරනවා.
  • “දිට්වා” සුළි කුණාටුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම්වලට සිදුවූ හානිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රු. මිලියන 6,150 ක් ඇස්තමේන්තු කොට තිබෙනවා. 2027 වසරේ දී මෙය ඇතුළු දිට්වාවලින් හානි වූ උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රු. මිලියන 700ක් වෙන් කර තිබෙනවා.
  • රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වාර්ෂිකව සිසුන් 42,000 ක් පමණ ඇතුළත් කර ගනු ලැබූවද, පවතින සම්පත් සීමිත බැවින්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන බොහෝ සිසුන්ට එම අවස්ථාව අහිමි වනවා. එම සිසුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමේ අරමුණින්, රජය විසින් පොලී රහිතව පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල උපාධි හැදෑරීමට සුදුසුකම්ලත් සිසුන් වෙත රාජ්‍ය බැංකු හරහා ණය පහසුකම් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. එම සිසුන්ට දැනට ලබා ගත හැකි මාසික යැපීම් දීමනාව රු. 6,250 සිට රු. 10,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරන අතර 2027 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කරනවා.

වෘත්තීය අධ්‍යාපනය

වෘත්තීය අධ්‍යාපනය විවිධ දෙපාර්තමේන්තු, ආයතන තුළින් විවිධ මට්ටමින් රට පුරා විසිරුණු, මධ්‍යස්ථාන 550 කට අධික ප්‍රමාණයක් තුළින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒවායේ ගුණාත්මක වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙනුත්, අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීම වෙනුවෙනුත්, රටට අවශ්‍ය ඉලක්ක සහගත ශ්‍රම සම්පත බිහිකිරීම වෙනුවෙන් හා සම්පත් ඵලදායීව යොදා ගැනීමේ අරමුණෙන් යුතුව, මෙහෙයවීම හා නියාමනය සඳහා එක් ආයතනයක් තුළ මධ්‍යගත කිරීමට අධ්‍යනයක් කිරීම වෙනුවෙන් රු. මිලියන 50 ක් වෙන් කර තිබෙනවා.

  • රත්මලානේ පිහිටි වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර, ආපනශාලා, විද්‍යාගාර සහ වැඩහල් පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රු. මිලියන 3,380 ක ව්‍යාපෘතිය වෙනුවෙන් 2027 වසරේ දී රු. මිලියන 800 ක් වෙන් කර තිබෙනවා.
  • ජර්මන් කාර්මික පුහුණු ආයතනය සහ මෝටර් රථ ඉංජිනේරු පුහුණු ආයතනය ඇතුළු කාර්මික අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රයට අයත් ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා 2027 දී රු. මිලියන 200 ක වෙන් කර තිබෙනවා.
  • දිස්ත්‍රික්ක 25 ක තෝරාගත් තාක්ෂණික විද්‍යාල 25 ක් නවීකරණය කිරීම සඳහා රු. මිලියන 6,000 ක් පිරිවැය දරන ව්‍යාපෘතිය වෙනුවෙන් 2027 වසර සඳහා රු. මිලියන 1,500 ක් වෙන් කර තිබෙනවා.

යටිතල පහසුකම් නවීකරණය කිරීම, විෂයමාලා යාවත්කාලීන කිරීම, නව තාක්ෂණයන් ඒකාබද්ධ කිරීම සහ රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් රු. බිලියන 11 ක ප්‍රාග්ධන ආයෝජනයක් සිදු කිරීමට අපේක්ෂා කරනවා.