Wednesday, May 01, 2024
Follow Us
නිල් කටරොළු මලක් වගේ හැඩයි දෝණි

නිල් පැහැති මුද්‍රිත රෙද්දකින් නිමවූ අලංකාර ගවුමකි. දියණියට අමතර පංති ඇඳගෙන යාම සඳහා කදිමයි. ප්‍රින්සස් ලයින් බ්ලවුසයට බොක්ස් ප්ලීට් සාය එකතුකර මසා ඇත. ඔබේ ආදරණීය දියණිය මේ ගවුමෙන් සැරසුණු විට නිල් කටරොළු මලක් වගේ ලස්සනට පෙනේවි.

මෙන්න අවශ්‍ය කරන මිමි:-

* උරහිස අඟල් 14ක්

* කරවට අඟල් 13ක්

* පපුව දක්වා උස අඟල් 9ක්

* ඉණ දක්වා උස අඟල් 14ක්

* පපුව වට අඟල් 30ක්

* ඉණ වට අඟල් 26ක්

* ඔපනැලි අතර පළල අඟල් 6ක්

* කර ගැඹුර අඟල් 6ක්

ගවුම සඳහා නිර්මාණය කර ඇත්තේ ප්‍රින්සස් ලයින් බ්ලවුසය හා බොක්ස් ප්ලීට් සායක් ය. බ්ලවුසය සඳහා මූලිකව පතරොමක් සාදා ගත යුතුයි .

පතරොම සාදා ගැනීම සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 1/4ක් පහත් කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යා කර මූලික කර අඳින්න.

අවශ්‍ය කර ගැඹුර පහත්කර අත්කටට කර හැඩය අඳින්න.

E සිට පහතට පපුව දක්වා උස හා ඉණ දක්වා උස පහත් කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාව යි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතු කර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට ඩාට් සඳහා මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

GI යා කර අංශය අඳින්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපී යන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

ඔපනැලි අතර පළල දෙකට බෙදා එම පිළිතුර පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න. එය JK වේ. k සිට ඉණ රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය KL වේ. ඩාට් පළල දෙකට බෙදා එම පිළිතුර L සිට දෙපසට ලකුණු කර Kට යා කරන්න. k සිට කරට ප්‍රින්සස් ලයින් හැඩය අඳින්න. එය KM වේ. පසුව රෙදි කැපීමේදි මැහුම් වාසි තබා කපා ගන්න.

සාය :-

සාය සඳහා බොක්ස් ප්ලීට් භාවිත කර ඇති බැවින් සාය ඉණවට මිම්මට අමතරව ප්ලීට් සඳහා ඉඩ එකතුකර ගත යුතුයි. එක් ප්ලීට් එකක් සඳහා අඟල් 5ක් 6ක් පමණ ගෙන අවශ්‍ය ප්ලීට් ගණනට ඉඩ ප්‍රමාණය එකතු කරගන්න.

පසුපස:-

පසුපස සඳහා බලවාටිය ගන්න. බලවාටියේ සිට අඟල් 1ක් වාසි තබා නැම්ම අඳින්න. ඉදිරිපස පතරොම නැම්ම මතින් තබාගන්න. ඉදිරිපස ඉණ මිම්මට එකතුකරන ලද ඩාට් සඳහා ප්‍රමාණය අඩුකර ලකුණු කර ගන්න. පසුපස කර ගැඹුර පහත්කර කපාගන්න. පසුපස සඳහා සිපර් එකක් ඇල්ලීම බොත්තම් ඇල්ලීම ගැදර් කිරීම මේ ඕනෑම ආකාරයකට සාදා ගත හැකියි.

කරට ඇති පටිය සඳහා බයස් අතට පටිය කපා මසාගන්න.

මැදින් ඇති ගැදර් එක සඳහා ඇඳුම මැසූ පසු කර මැද සිට පහළට මඳක් රැලි කරගන්න.

මෙන්න මෙහෙමයි මසාගන්නෙ,

*ප්‍රින්සස් ලයින් හැඩය මසන්න.

*කර සඳහා ලයිනින් හෝ පේශින් භාවිත කරන්න. කර මැසීමේදී පටියද තබා මසන්න.

*පසුපස සාදාගන්න.

*සාය සඳහා බොක්ස් ප්ලීට් සාදා ඉණට අල්ලා ගන්න.

*අංශය මසන්න.

*වාටිය මසන්න.