Friday, May 03, 2024
Follow Us
Pimples

අද මම කුරුලෑ ගැන කතා කරන්න හිතුවා. මේක දීර්ඝ ලිපියක් උනත් කොටස් වශයෙන් පළ නොකර දිගටම පෝස්ට් එක හැදුවේ මේ ප්‍රශ්නයට මුහුණ දෙන ඔබට පහසුවක් වෙන්නයි. මේ ලිපිය කුරුලෑ ගැන ඔබට ඇති ගොඩක් ප්‍රශ්න වලට උත්තර සපයාවි.


කුරුලෑ කියන්නේ හැමවිටම කාටත් අඩු වැඩි වශයෙන් තිබෙන සුලබ ප්‍රශ්නයක්. මෙය සමාජයේ 30% පමණ ප්‍රතිශතයකට දකින්න පුළුවන්. අවුරුදු 10 - 20 ත් අතර කාණ්ඩය අතර ඉතාමත් බහුලව පැවතුනත් ඉපදුණු මොහොතේ සිට අවුරුදු හත අට දක්වා කාලයේදීත් මෙලෙස කුරුලෑ ඇතිවිය හැකි බව වෛද්‍ය මතයයි.
## කුරුලෑ වර්ග කිහිපයක් අපට දැකිය හැක.
* කළු හෝ සුදු පාට සහිත කුඩා බිබිලි ලෙස
පැවතීම (black heads or white heads )
* පොඩි රතු පැහැති බිබිලි ඇති වීම.(Papules)
* සැරව බිබිලි සේ සුදුපැහැති බිබිලි ඇති වීම.
(Pustules )
* විශාල බිබිලි ලෙස ඇති වීම (ගෙඩි
ආකාරයට ) (Nodules / Pustules)
මෙසේ ඇතිවන කුඩා ප්‍රමාණයේ කුරුලෑ සුව වූ පසු හමේ එතරම් විශාල වෙනසක් ඇති නොවූවද විශාල ප්‍රමාණයේ ගැටිති සුව වූ පසු දීර්ඝ කාලීනව පවතින ලප කැළැල් ඉතිරි වේ. මීට අමතරව ඇතැම් විට කුඩා කුරුලෑ සුවවීම නිසා මුහුණේ අව පැහැයක් ඇති විය හැක. මෙය ඇතැමකුට දැඩි මානසික පීඩාවක්. කුරුලෑ එකක් දෙකක් ඇතිවීමේ සිට විශාල ප්‍රමාණයක් ඇති වීම දක්වා දරුණු විය හැකි අවස්ථාද නැතුවා නොවේ.
## කුරුලෑ ඇති වීමට හේතුව
අපගේ සමේ ඇති තෙල් සාදන ස්නේහස්‍රාවී ග්‍රන්ථිය (sebaceous glands ) හා රෝම කූප සම්බන්ද වන ස්ථානයේ බිබිලක් ආකාරයට සමට නෙරා ගිය කොටසක් වේ. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ම තරුණ වයසේදී අධික හෝමෝන ශ්‍රාවය වන බැවින් ඇතැම් අවස්ථාවලදී බල්බයක් ආකාරයට ඇති බිබිල සම තුළම හිරවීමක් සිදු විය හැක. මෙම හෝමෝන ස්ටෙක්ටරන් නමින් හඳුන්වනු ලබයි. ඊට අමතරව අපගේ සමේ සාමාන්‍යයෙන් ඇති බැක්ටීරියාවන් මෙම බිබිල තුළට රිංගා හෝමෝන වැඩියෙන් පවතින විට ඉතාමත් හොඳින් වර්ධනය වීමට පටන් ගනී. මෙලෙස හොඳින් වර්ධනය වන විට නාලය හිර වීමක් ද සිදු වුවහොත් එම බිබිල විශාල වී ඉදිමී කුරුලෑ තත්ත්වයට පත් වේ.
තරුණ වයසේ ඇති වන කුරුලෑ අධික හෝමෝන ක්‍රියාකාරිත්වය අඩු වූ විට අඩු වී යන අතර, ඇතැම් විට වැඩිහිටි වයස දක්වා වුවද තිබිය හැක.
## කුරුලෑ වැඩිපුරම ඇති විය හැකි
පුද්ගලයින්
* කලු පැහැති සමක් ඇති, මුහුණේ රෝම
වැවෙන අයට,
* ඔසප් චක්‍රය අක්‍රමවත් හා ඩිම්බකෝෂ වල
රෝග ඇති කාන්තාවන්ට,
* මුහුණේ රෝම වැඩිපුර ඇති කාන්තාවන් ට.
* පිටියුටරි ග්‍රන්ථය රෝගී තත්වයන් ඇති
අයට,
* ඇතැම් ඖෂධ වර්ග භාවිත කරන්නන් හට
(සම සුදු වීමට ආලේප කරන ස්ටීරොයඩ්
වර්ගයේ),
* මීමැස්මොරය රෝගය ඇති අය හට,
* ඇතැම් මානසික රෝග සඳහා දෙනු ලබන
ඖෂධ භාවිතා කරන්නන්ට,
* ක්ෂණික ආහාර සහ අධික ලෙස කිරි ආහාර
භාවිතා කරන්නන්ට ,
* ප්‍රමිතියකින් තොර සහ තමන්ගේ සමේ
ස්වභාවයට නොගැලපෙන ආලේපන
භාවිතය නිසා,
* වැඩිපුර චොක්ලට් ආහාරයට ගන්නා අයට,
* සමේ පිරිසිදු කම අඩු පුද්ගලයන්ට ,
* ප්‍රමාණවත් නින්දක් නොලබන්නන් හට,
* උෂ්නාධික දේශගුණයක ඉන්නා
පුද්ගලයන්ට.
කුරුලෑ වැඩි නම් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු අතර දිනපතා නෑමෙන් සම පිරිසිදුව තබා ගත යුතුය.
## ප්‍රතිකාර
* ප්‍රතිජීවක ඖෂධ වර්ග හා රෙටිනොයිඩ්
වර්ගයේ ඖෂධ වර්ග ද මේ සඳහා නියම
කරයි.
* කාන්තාවන්ට හෝමෝන වර්ගද නියම කරනු
ලැබේ.
* නවීන ක්‍රමවේදයන් යටතේ Blue & Red Light
ඇල්ලීම , ලේසර් කිරණ ප්‍රතිකාර
## පිළිපැදිය යුතු කරුණු
* කිසිදු අවස්ථාවක කුරුලෑ ඇල්ලීමට
කැඩීමට හෝ මිරිකා හැරීමට ලක්
නොකරන්න .
* PH 5-7 අතර පවතින මෘදු සබන් භාවිත
කරන්න.
* හිතුමතේ ඖෂධ භාවිතා නොකරන්න.
හිතුමතේ ඖෂධ භාවිතා කිරීමෙන් හමේ
වර්ධනය වන බැක්ටිිරියා ඖෂධ සඳහා
ප්‍රතික්‍රියා නොදැක්වීමට පටන් ගනී.
* ඖෂධ නියමිත කාලයට හා නියමිත
ප්‍රමාණයන් ගෙන් ලබා ගැනීම.
* සමහර ඖෂධ අත්හදා බැලීමට නොයාම.
* මානසික ආතතිය නිසාත් කුරුලෑ වැඩිපුර
ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්
විය යුතුය.
* තෙල් සහිත හා මස් මාංශ ආහාරයට
එක්කර ගැනීමට වඩා ශාකමය ආහාරයන්ට
හුරුවීම සෞඛ්‍ය ආරක්ෂිත වෙයි.
* විටමින් C හා විටමින් E අධික පලතුරු
ආහාරයට එක් කර ගැනීම සුදුසු වේ.
* හුමාලයට මුහුණ අල්ලා මුහුණ පිරිසිදු කර
ගැනීම මගින් සමේ ඇති තෙල් ස්වභාවය
ඉවත් කර කර ගැනීමට හැකි වේ. මෙමඟින්
සමේ රෝම කූප විවර කර ඒවායේ ඇති
අපද්‍රව්‍ය ඉවත් කිරීම පහසු කරවයි. විවර
කරගත් රෝම කූප නැවත තිබු තත්ත්වයට
පත් කර ගැනීම අත්‍යවශ්‍ය ය.
රූපලාවණ්‍යාගාරවල කුරුලෑ සඳහා විශේෂිත වූ ප්‍රතිකාර ඇත. ඔබේ රූපලාවන්‍ය ශිල්පිනිය හා සාකච්ඡා කරගෙන ඒවාට යොමුවන්න.

(Beauty secrets with Rapunzel)