Saturday, February 21, 2026
Follow Us
ඇමරිකාවේ, යුරෝපයේ අනුමත රීජන් කොව් ඖෂධයට අනුමැතිය දීම මෙරට NMRA ප්‍රතික්ෂේප කරයි.

අවයව බද්ධ කළ අය සහ විවිධ හේතූන් යටතේ ස්වභාවිකව ප්‍රතිදේහ ගොඩනඟා ගත නොහැකි කොවිඩ් රෝගීන් සඳහා භාවිතා කිරීමට ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ජපානය අනුමැතිය ලබාදී ඇති රීජන් කොව් ඖෂධය මෙරටට ගෙන්වන ලෙස කළ ඉල්ලීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥයින්ගේ සංගමය ලිපියක් මගින් පෙන්වා දී තිබුණේ මෙසේ විවිධ හේතූන් මත ප්‍රතිදේහ ගොඩනංවාගත නොහැකි අධි අවදානම් කොවිඩ් රෝගීන් මියයාමේ ප්‍රතිශතය වැඩිවී ඇති බවත් මෙවැනි රෝගීන් වැඩි කලක් දැඩි සත්කාර ඒකකවල රඳවා තබා ගැනීමට සිදුවීම නිසා සම්පත් භාවිතයේදීත් අර්බුදවලට මුහුණ පෑමට සිදුවන බවත්ය. එහෙයින් මෙවැනි රෝගීන් සඳහා හදිසි භාවිතයට ඇමරිකාවේ ආහාර හා ඖෂධ අධිකාරිය, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍ය සහ ජපානය මේ වනවිටත් අනුමැතිය ලබාදී ඇති ප්‍රතිදේහ මිශ්‍රණයක් වන රීජන් කොව් ඖෂධය හැකි ඉක්මනින් මෙරට තුළ භාවිතය සඳහා ද අවසර ලබාදෙන ලෙස ඔවුන් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලා තිබිණි.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මේ පිළිබඳව අවධානය යොමු කරමින් මෙම අධි අවදානම් කොවිඩ් රෝගීන්ගේ ජීවිත රැකගැනීම සඳහා, අදාළ විශේෂඥයින්ගේ අදහස් ලබාගෙන මෙම ඖෂධය මෙරට තුළ භාවිතයට ගෙන්වීමට කටයුතු කිරීම ඥානාන්විත වනු ඇති බව පෙන්වා දී තිබිණි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා ප්‍රකාශ කර තිබුණේ ඖෂධ නියාමන අධිකාරියේ කොවිඩ් පිළිබඳ කමිටුව මෙම ඖෂධය මෙරටට ගෙන්වීමට අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි. මෙම ඖෂධයේ ඵලදායීතාව පිළිබඳව විශ්වසනීය තොරතුරු නොමැති බැවින් මෙසේ එය ප්‍රතික්ෂේප කළ බවයි ඒ මහතා සඳහන් කර තිබුණේ.

(LNW)