වර්තමානයේ මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් අපේ රටේ ජනතාව තුළ යම් නොසන්සුන්තාවක් සහ සිදු වන්නේ කුමක්ද කියා අනවබෝධයක් සහිත තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ ආර්ථික උපායමාර්ග ඉදිරියට ගෙන යාමට හැකිද? තමන්ගේ දරුවන් පාසල් යැවිය හැකිද? තමන්ගේ එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයාගත හැකිද? ආදී අවිනිශ්චිතතාවක් ජනතාව තුළ ඇති වී තිබෙනවා. මොකද මෙවැනි ව්‍යසනයන් හමුවේ ජනතාවට අත් වූ ඛේදනීය ඉරණම පිළිබඳ අපේ රටේ ජනතාවට මෑතකාලීන අත්දැකීමක් තිබෙනවා. ඒ නිසා ජනතාව තුළ යම් නොසන්සුන්තාවක් ඇති වීම පිළිගත හැකි කරුණක්.
මේ යුදමය තත්ත්වය හමුවේ ආණ්ඩුවක් ලෙස, රටක් ලෙස, අපි අපේ ස්ථාවරය ඉතා පැහැදිලිව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ යුද්ධයේදී අපේ ස්ථාවරය වන්නේ මධ්‍යස්ථභාවයයි. අපේ ප්‍රකාශ, ක්‍රියාමාර්ග සහ අප එළැඹෙන සම්මුති මේ සියල්ල ගැබී වී තිබෙන්නේ එම මධ්‍යස්ථභාවය ආරක්ෂා කර ගෙනයි. මම හිතනවා එම මධ්‍යස්ථභාවයේ ප්‍රතිඵලයක් ලෙස අද ජාත්‍යන්තර වශයෙන් අපිව පිළිගැනීමට සහ විශ්වාසයට ලක්ව තිබෙනවා. ඒ නිසා යුද්ධය කවර අන්තයකට තල්ලු වුවද අපි අපේ මධ්‍යස්ථභාවය ගිලිහී යන අන්දමින් කටයුතු කරන්නේ නැහැ.
ඒ වගේම, ඕනෑම කම්පනයකට ඔරොත්තු දෙන ආර්ථිකයක් සහ සාමාන්‍ය ජනතාවගේ ජන ජිවිතය කඩා නොවැටෙන ආර්ථිකයක් අපි සකස් කළ යුතුයි. අපි දන්නවා ආකාර දෙකකින් මෙම ආර්ථක කැළඹිලි ඇති වෙනවා. එකක් අභ්‍යන්තර කම්පන. අපි දන්නවා පසුගිය නොවැම්බර් මාසයේ අගභාගයේදී මුහුණ දීමට සිදු වූ දිට්වා සුළි කුණාටුව එවැනි අභ්‍යන්තර කම්පනයක්. ඒ අභ්‍යන්තර කම්පනයේදී අපේ ආර්ථිකයට ඩොලර් බිලියන4.1ක පමණ හානියක් සිදු වුණා. එහෙත් අපි සතුව තිබූ මූල්‍ය ස්ථාවරභාවය සහ ආර්ථිකයේ ශක්තිමත්භාවය හේතු කර ගෙන එම කම්පනයට සාර්ථකව මුහුණ දී ඉතා කෙටි කාලයකින් අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතයට සහ ආර්ථික ක්‍රියාකාරම්වලට පණ පෙවීමට පුළුවන්කම ලැබුණා.
එහි සාර්ථකභාවය පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසයේ අපේ ආර්ථික දත්තවලින් පෙන්නුම් කරනවා. මොකද ඒ මාස දෙකේ පමණක් මහබැංකුව ඩොලර් මිලියන 700ක් පමණ වෙළෙඳපොළෙන් මිලදී ගත්තා. එය මෑත ඉතිහාසයේ වැඩිම මිලදී ගැනීම. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව ඉලක්ක සම්පූර්ණ කර ආදායම් අභිබවා ගියා. ඒ නිසා එම අභ්‍යන්තර කම්පනයට ඔරොත්තු දීමට හැකියාව ලැබුණා. දැන් අප හමුවේ බාහිර කම්පනයක් තිබෙනවා.
එම බාහිර කම්පනයටද ඔරොත්තු දෙන අන්දමින් අපි ආර්ථිකය සකස් කළ යුතුයි. ඒ අභියෝගය සහ විශ්වාසය අපිට තිබෙනවා. හැබැයි, මේ යුද්ධයේ ස්වභාවය වන්නේ යුද ගැටුමේදී සියලු පාර්ශ්ව තම තමන්ගේ සීමා සහ ඉලක්ක තෝරාගෙන තිබෙනවා. පාලනය වෙනස් කිරීම, සමස්ත සැපයුම් ජාලය බිඳ වැට්ටවීම වැනි ඉලක්ක එහි තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම, තෙල් ගබඩාවලට පහර දීම, තෙල් ප්‍රවාහනය කරන නැව්වලට පහරදීම වගේම වරායවලට පහරදීම බලශක්ති වෙළෙඳපොළේ ජාත්‍යන්තර පරිමාණයෙන් අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා.
එය හරිද, වැරදිද යුක්ති සහගතද යන්න වෙනම ප්‍රශ්නයක්. ඒ නිසා විශේෂයෙන් බලශක්ති වෙළෙඳපොළේ නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ සැපයුම් ජාලය අඩපණ වී තිබෙනවා. එය ලෝක තතු පිළිබඳ කුඩා හෝ අවබෝධයක් ඇති අය දන්නවා. අද නිෂ්පාදනය අඩපණ වී තිබෙනවා. ගබඩකරණය සහ සැපයුම් ජාලය අඩපණ වී තිබෙනවා. ඒ නිසා මේ අර්බුදයේ ප්‍රමුඛතම කේන්ද්‍රය බවට පත්ව තිබෙන්නේ බලශක්ති ක්ෂේත්‍රයේ ඇති වන අර්බුදයයි. මෙම යුද්ධයේ අභ්‍යන්තර ගැටුමක් තිබෙනවා. අපි එය අවබෝධකරගත යුතුයි.
අපේ ප්‍රධාන බලශක්ති මෙවලම් වන්නේ ඉන්ධන, ගෑස් සහ ගල්අගුරු. ඉන්ධනවලට අපි ඉතා හොඳ දිගුකාලීන ටෙන්ඩර් ප්‍රදානය කර තිබුණා. හැබැයි, අපිට බොරතෙල් සැපයුම් මෙට්ට්‍රික් ටොන් 90,000ක නැව් දෙකක් නියමිත කාලයේදී ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. මෙම නැව් කාලයක් ප්‍රමාද වන බව දැනුම් දී තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ අපේ තෙල් අලෙවි කරන්නන් සිටිනවා. ඔවුන්ගේ එක් නැවක් නියමිත පරිදි ලැබෙන්නේ නැහැ කියා දැනට වාර්තා වී තිබෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වන ඉන්ධන සැපයුමේ අඩුවක් තිබෙනවා.
වරායට නැවක් පැමිණීමේදී ගබඩාවලට තෙල් පොම්ප කිරීම, නැව එහි තිබෙන කාලය, ගබඩාවල තිබෙන ප්‍රමාණය, නැවත නැවකට ඒ වෙත ළඟා වීමේ හැකියාව යන දෑ කළමනාකරණය කරන පද්ධතියක් තිබෙනවා. එක් නැවක හෝ ප්‍රමාදයක් සම්පූර්ණ ජාලයම අර්බුදයට පත් කරනවා. මොකද අපි සීමිත සම්පත්වලින් තමයි මේ බලශක්ති ක්ෂේත්‍රය පාලනය කරන්නේ. ඒ නිසා අපි ඉලක්ක සහගත ලෙස සැලසුම් කර තිබූ ඉන්ධන සැපයුම අපිට ලැබෙන්නේ නැහැ. එසේ නම් අපි මීට විසඳුම් සොයන්නේ කොහොමද?
විශේෂයෙන් 2025 වසර අපේ ආර්ථිකයේ ඇතැම් දත්ත ලංකා ඉතිහාසයේ ඉතා ප්‍රශස්තම දත්ත. ඒ වගේම, දශක ගණනාවකට පසු අපි අත්පත් කර ගත් දත්ත තිබෙනවා. ඒ නිසා ආර්ථික තලයේ ඉතා හොඳ ජයග්‍රහණයක් අපි 2025 වසරේ අත්පත් කරගෙන තිබෙනවා. අපේ අභියෝගය තමයි මේ ආර්ථික ජයග්‍රහණ අඛණ්ඩතාවෙන් පවත්වා ගෙන යමින් මේ අර්බුදයට මුහුණදෙන්නේ කොහොමද කියන එක. ඒ වගේම සාමාන්‍ය ජනතාවත් මීට පෙර තිබුණාට වඩා තමන්ගේ ජීවන රටාවේ යම් වෙනසක් ඇති කරගෙන තිබෙනවා. එම ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කෙසේද කියන එක පිළිබදවත් අපි අවධානය යොමු කර තිබෙනවා. මෙම කරුණු මත තමයි, අපි බලශක්ති ක්ෂේත්‍රයේ මතුව තිබෙන ගැටලුවලට විසඳුම් සොයන්නේ.
මේ ආර්ථිකයේ අත්පත් කර ගෙන තිබෙන ජයග්‍රහණ අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ජනතාවගේ ජන ජීවිතය අඩාළ නොවී පවත්වා ගෙන යාමේ අපේක්ෂාවෙන් තමයි අපි මේ සඳහා මැදිහත් වන්නේ. ඒ සඳහා අපි ආරම්භයේදීම ආර්ථික අවේක්ෂණ කමිටුවක් පිහිටුවනු ලැබුවා. එම කමිටුව ඉතා කෙටි කාලයන් තුළ රැස් වෙමින් ඇති වන තත්ත්වය පිළිබඳ සමාලෝචනය කරනවා. ඒ වගේම මහබැංකුව දවස් දෙකකට වරක් ඇති වී තිබෙන තත්ත්වයන් සහ ගත යුතු පියවර පිළිබඳ නව වාර්තා අපිට ඉදිරිපත් කරනවා. එම වාර්තා පිළිබඳ ආර්ථික අවේක්ෂණ කමිටුව තුළ සාකච්ඡා කරමින් අපි ඉතා ප්‍රශස්ත ලෙස තීන්දු තීරණ ගන්නවා.
යම් තීන්දු තීරණ ප්‍රමාද නොවිය යුතුයි. ඒ වගේම දත්ත අධ්‍යයනය කරමින් නිසි අවස්ථාවේදීම ගත යුතු තීන්දු තිබෙනවා. ඊට අමතරව ආර්ථික අවේක්ෂණ කමිටුවේ මැදිහත් වීමෙන් තවත් ක්ෂේත්‍ර කිහිපයක තීන්දු තීරණ ගැනීම සිදු වෙනවා.
බලශක්ති සැපයුම සාර්ථක කර ගැනීම සඳහා කරන මැදිහත් වීම එහි ප්‍රධාන වෙනවා. ඒ වෙනුවෙන් අපි මේ වන විට මැදිහත් වීම් කිහිපයක් කර තිබෙනවා. අපි රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මිත්‍ර රාජ්‍යයන් සමග ඉතා සමීප සාකච්ඡාවක නිරත වී සිටිනවා, ඒවායේ ඉතා හොඳ ප්‍රගතියක් තිබෙන බවද ප්‍රකාශ කිරීමට කැමතියි.
දෙවනි එක, අපි ඉක්මන් ටෙන්ඩර් කිහිපයක් දැම්මා. අද අපි ටෙන්ඩරයක් විවෘත කළා. එහිදී අපට ඩීසල්, බොරතෙල්, ලිහිසි තෙල්, පෙට්‍රල් සඳහා ඉතාමත් විශ්වාසවන්ත සැපයුම්කරුවන්ගෙන් ලංසු පැමිණ තිබෙනවා. අපි ඔවුන්ට ඒ ටෙන්ඩර් ප්‍රදානය කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රමාද වන කාලය ආවරණය කර ගැනීම තමයි අපේ අපේක්ෂාව. ඒ වගේම ඕනෑම මොහොතකදී ඉන්ධන සපයන නෞකාවක් පැමිණෙන අතරමඟ යම් අර්බුදයක් ඇති වීමේ අවදානමක් තිබෙනවා. ඒ සඳහා අතිරික්ත වශයෙනුත් අපි ටෙන්ඩර් ප්‍රදානය කිරීම සඳහා කටයුතු කර තිබෙනවා. ඒ නිසා අපි අද එය සම්පූර්ණ කළා. ඒ වගේම හෙට දිනයේ තවත් ඩීසල් ටෙන්ඩරයක් ප්‍රදානය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එතනදිත් අපට විශ්වාසවන්ත සැපයුම්කරුවකු එනවා. මේ වෙලාවේ අපට විශ්වාසවන්ත සැපයුම්කරුවන් අවශ්‍යයි. ඒ සඳහා අපි කටයුතු කර තිබෙනවා. යම් මිල වැඩි වීමක් තිබෙනවා, ඒ ටෙන්ඩර් දෙස බැලුවම. සාමාන්‍යයෙන් ප්‍රීමියම් අගය ඩොලර් තුනට වඩා අඩුවෙන් තමයි තිබුණේ. මේවායේ ප්‍රීමියම් අගය ඩොලර් තුනට වඩා වැඩියි. ඒ නිසා යම් මිල වැඩි වීමක් තිබෙනවා. එහෙත් අපේ අපේක්ෂාව තිබෙන්නේ බලශක්ති සැපයුම් අඛණ්ඩව ලබා දීමයි.
මේ වගේ අවස්ථාවකදී අපි දන්නවා ලෝකයේ කළු කඩයක් ගොඩනැගෙනවා. මුහුදේ තිබෙන නැව් එහෙට මෙහෙට අලෙවි කරනවා. එකම නැවට නියෝජිතයෝ කිහිප දෙනෙක් ඉදිරිපත් වෙනවා. මෙවැනි අර්බුදයකදී ඇති වන තත්ත්වය තමයි එය. ඒ නිසා ක්ෂණිකව තීන්දු තීරණ ගෙන මිලදී ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රශස්ත නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් කැබිනට් මණ්ඩලයෙන් පත් කර තිබෙනවා. අපේ රටේ සියලු මිලදී ගැනීම් ප්‍රසම්පාදන කොමිසමට යටත් වෙනවා. ප්‍රසම්පාදන කොමිසමෙන් අපි ඒ සඳහා අනුමැතිය ලබා ගෙන තිබෙනවා. ඒ කමිටුව විසින් ගනු ලබන තීන්දු කැබිනට් මණ්ඩලය අනුමත කර ලබා දෙනවා. එයද ක්ෂණිකව ඉන්ධන සපයා ගැනීම සඳහා තිබෙන ක්‍රියාමාර්ගයක්. එම ක්‍රියාමාර්ගය අපි අනුගමනය කරනවා.
මීළඟට පෞද්ගලික අංශයේ අපේ රටේ අපනයනකරුවන් සහ විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන් වැනි ඩොලර්වලින් ව්‍යාපාරයේ යෙදෙන පිරිස ඔවුන්ට අවශ්‍ය වන තෙල් ආනයනය කර ගැනීම සඳහා බලපත්‍රයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. අපි තාවකලිකව ඔවුන්ට ඒ අවස්ථාව ලබා දී තිබෙනවා. අපනයනකරුවන් 30ක් පමණ මේ සඳහා ලියාපදිංචි වී තිබෙනවා. සංචාරක කර්මාන්තයටත් එය ලබා දෙන්න සූදානම්. ඔවුන් ඩොලර්වලින් තෙල් ආනයනය කරනවා. ඩොලර්වලින් තෙල් අලෙවි කරනවා. හෙට උදේ සිට අපනයනකරුවන් සඳහා ඉන්ධන සැපයීමට හැකියාව ලැබෙනවා. ඔවුන් ඉන්ධන සොයා ගෙන තිබෙනවා. ඒ ඉන්ධන ඔවුන්ගේ ගබඩාවල තිබෙනවා. ඒ නිසා අපනයනකරුවන්ට සහ සංචාරක කර්මාන්තයේ යෙදෙන පිරිසට හෙට උදේ සිට පෞද්ගලික සමාගම් එම ඉන්ධන ලබා දීමට කටයුතු කරනවා. මේ අනුව, බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා අපි මෙවැනි ක්‍රමවේද ගණනාවකින් මැදිහත් වෙනවා.
ඒ වගේම, ගෑස් පිළිබඳව ගතහොත් අපිට මාර්තු මාසයේ ගෑස් අවශ්‍යතාව තිබුණේ මෙට්‍රික් ටොන් 33,000යි. එහෙත් පෞද්ගලික සමාගමක් ගෑස් සැපයුම අඩපණ කර තිබෙන නිසා මාර්තු මාසයට අපි 38,000ක් ඇනවුම් කළා. ඊට අවශ්‍ය වන ගෑස් තමයි අපේ ලිට්‍රෝ සමාගම ආනයනය කරන්නේ. ඒ මෙට්‍රික් ටොන් 38,000ම දැන් ලැබී තිබෙනවා.
සමහර ඒවා වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. සමහර ඒවා දේශීය ගබඩාවල තිබෙනවා. අනෙක් ඒවා මාලදිවයිනේ පාවෙන ගබඩාවල තැන්පත් කර තිබෙනවා. අපි තව ගෑස් නැවක් ඇනවුම් කර තිබෙනවා. ඒ අනුව හෙට හෝ අනිද්දා මෙට්‍රික් ටොන් 33,000ක ගෑස් නැවක් ලැබීමට නියමිතව තිබෙනවා. ඒ නිසා ගෑස් වෙළෙඳපොළෙහි අර්බුදයක් මතු වන්නේ නැහැ.
ඊළඟට ගෑස් සපයන්න තිබෙන්නේ අප්‍රේල් 21-23 කාලයේ. ඒ කාලයේදී ඊළඟ නැව ඔවුන් අපට ලබා දේවි කියල අපට විශ්වාසයක් තිබෙනවා. ගෑස් වෙළෙඳපොළේ අර්බුදයක් ඇති වීමේ අනතුර අඩුයි. මීළඟට අපි ගල්අඟුරු සැපයුම්කරුවන්ට නැව් 23ක් ලබා දුන්නා. දැනට නැව් 13ක් ලංකාවට ළඟා වී තිබෙනවා. තව නැව් 12කට ළඟා වීම පිළිබඳ ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. අපි පසුගිය දා ක්ෂණික මිලදී ගැනීමේ ටෙන්ඩරයක් කැඳෙව්වා. ඒ පිළිබඳ වාර්තා ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ කැබිනට් මණ්ඩලය එහි මිල දී ගැනුම්කරුවෙකුට ලබා දීමට තීරණය කළා. එතන නැව් පහක් තිබෙනවා. ඔහු ඉතාමත් විශ්වාසවන්ත සැපයුම්කරුවෙකු කියා අපි විශ්වාස කරනවා. එසේ වුවහොත් අපිට ගල්අඟුරු ක්ෂේත්‍රයේ අර්බුදය වළක්වා ගත හැකියි.
ඒ වගේම, අපේ රාජතාන්ත්‍රික සබඳතා මඟින් එම රාජ්‍යයන්ගෙන් ගෑස් ගල්අඟුරු සහ ඉන්ධන ලබා ගැනීම සඳහා අපි කටයුතු කරනවා. දැන්, ඊට අවශ්‍ය වන ලිපි හුවමාරු වෙමින් තිබෙනවා. සමහර ගිවිසුම් පිළිබඳව අපි සාකච්ඡා කරමින් තිබෙනවා. අපේ මිතුරු විදෙස් රාජ්‍යයන්ගෙන් ලබා ගත හැකි සහාය පිළිබඳ අපි කල්පනා කරමින් තිබෙනවා. ඒ නිසා උපරිම ලෙස අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් ඇති වීම වැළැක්වීම සඳහා අපි කටයුතු කරමින් සිටිනවා.
මීළඟට අපේ දැන් තිබෙන බලශක්තිය ප්‍රවේශම් කර ගැනීම සඳහා QR කේතයක් හඳුන්වා දී තිබෙනවා. එහි යම් යම් ගැටලු තිබෙන බව අපි දන්නවා. විශේෂයෙන්ම, මේ පිළිබඳ ස්වේච්ඡාවෙන් වැඩකටයුතු කරන ඩයලොග් ආයතනයත්, MIT ආයතනයත් සහ අපේ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ උපදේශක හාන්ස් විජේසූරිය මැතිතුමා, ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යතුමා අපි සියලු දෙනා එක්ව අපි සාකච්ඡා කළා. මෙය දියත් කරන්නේ කොහොමද කියා. සමහර යෝජනා ආවා. දවස් දෙකක් ෂෙඩ් වහලා. මේක ක්‍රියාත්මක කරමු කියලා. මීට පෙර මෙය ක්‍රියාත්මක කිරීමේදී රට වැහිලා තිබුණේ. සති දෙකක කාලයක් තිබුණා.ඔවුන්ට QR කේතය ලබා ගන්න. අනතුරුව තමයි, QR කේතයෙන් තෙල් ලබා දුන්නේ. එහෙත් අපට එහෙම කරන්න බෑ. මේ දුවන ආර්ථිකය පවත්වා ගෙන යා යුතුයි. ඒ නිසා යම් ගැටලු මතු වෙනවා කියන පූර්ව අවබෝධයකින් යුතුව තමයි අපි මේ QR කේතය ක්‍රියාත්මක කරන්න තීරණය කළේ.
ඒ නිසා තමයි අපි ඉරිදා දිනයක් තෝරා ගත්තේ. මේ වන විට මිලියන පහකට ආසන්න ප්‍රමාණයක් දැනට QR කේතය රෙජිස්ටර් වී තිබෙනවා. පවතින ගැටලු ඉතා ඉක්මනින් නිරාකරණය කර ගැනීමට හැකි වේවි. තෙල් ලබා දෙන ගමන් QR කේතය ක්‍රියාත්මක වෙන්නේ පළමු වතාවටයි. ලංකාවේ විශේෂඥ ඥානය තිබෙන සමාගම් දෙක තමයි මේ සඳහා ස්වේඡාවෙන් උදව් කළේ. එහි විශේෂඥයින් තමයි මීට නායකත්ව මගෙපෙන්වීම ලබා දුන්නේ. තියෙන තෙල් ප්‍රමාණය යම් ප්‍රමාණයකට කළමනාකරණය කර ගැනීමට අවශ්‍යතාව තිබෙනවා. මේ ප්‍රමාණයේ දිගටම ඉන්න අපි අපේක්ෂා කරන්නේ නැහැ. අපි දැනට සකස් කර තිබෙන සැපයුම් ටික ඉතා හොඳින් සාර්ථක වුවහොත් එය ඉතා ඉක්මනින් බලා ගන්න පුළුවන්. අපි ඒ පිළිබඳ නැවත අවධානය යොමු කරනවා.
එහෙත් මේ QR කේතය නිකුත් කිරීම හරහා අත්‍යවශ්‍ය ඇතැම් ක්ෂේත්‍රවලට යම් බාධාවක් ඇති විය හැකියි. ඒ ක්ෂේත්‍රවලට කිසිදු බාධාවක් නොවන ආකාරයෙන් මේ QR කේතය ක්‍රියාත්මක කිරීමට අපි අපේක්ෂා කරනවා.
එයින් පළමුවැන්න සෞඛ්‍යය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉදිරිපත් කළ වාර්තාව අනුව දැනට අපි උපකල්පනය කර තිබෙන තෙල් ප්‍රමාණය අවසන් වන දිනයක් තිබෙනවා නම් ඒ දිනයේ සිට තවත් සති 06කට අපි ආරක්ෂිත තොග ගබඩා කිරීමට තිරණය කර තිබෙනවා. සාමාන්‍යයෙන් තෙල් තියෙන්නේ මාසයකට නම් අපි සෞඛ්‍යය සඳහා මාස දෙකකට ආරක්ෂිත තෙල් තබා ගන්නවා. වරාය, ගුවන්තොටුපොළ වැනි අත්‍යවශ්‍ය කටයුතු සඳහා ආරක්ෂිත තොග තබා ගන්නවා. අපේ පූර්ව සූදානම එයයි.
ඊළගට විශේෂයෙන් අපි දන්නවා කෘෂිකර්මාන්තය, ධීවර, කර්මාන්තය, ඒ වගේම කුඩා කර්මාන්තවල යෙදෙන අයගේ ජීවිකාව, මේ ප්‍රවාහනය සහ ඉන්ධන සමග සම්බන්ධ වී තිබෙනවා. ඒ නිසා අපි සියලු අමාත්‍යාංශ කැඳෙවුවා. කර්මාන්ත අමාත්‍යාංශය වැඩසටහනක් සකස් කරනවා කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබා දීම සඳහා.
ඒ වගේම, කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනටමත් වැඩසටහන් සකස් කර තිබෙනවා. මේ අස්වනු නෙළන සමය. ඉතා කෙටි කාලයකින් යල කන්නය ආරම්භ කරනවා. ඒ නිසා ඉන්ධන දීමනාවක් අවශ්‍යයි. ඒ නිසා මේ QR කේතයෙන් ලබා දී ඇති ඉන්ධන ප්‍රමාණය කිසිසේත් තමන්ගේ අස්වනු නෙළීමට හෝ තමන්ට නැවත වගා කිරීම සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා අපි එය වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ වගේම ධීවර කර්මාන්තය ගත්තොත් බහුදින යාත්‍රාවක් නම් අපිට ගිය දුර ප්‍රමාණය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ අනුව, ඉන්ධන ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම, ධීවර වරායවලින් තෙල් නොගසන කුඩා බෝට්ටු 30,000ක් පමණ තිබෙනවා. එම කුඩා බෝට්ටුවලටත් ඉන්ධන සපයන්න අපි කටයුතු කරනවා.
විශේෂයෙන් ආහාර සැපයුම් ජාලය පිළිබඳ අපි අධ්‍යයනය කරමින් සිටිනවා. මේ ඉදිරි උත්සව සමයේ ආනයනකරුවන් විසින් අවශ්‍ය තොග රැස්කරගත යුතුයි. ඇතැම් භාණ්ඩවල තොග රැස් කරන්නේ සති දෙකකට වගේ. ඒ වගේම, ඇතැම් භාණ්ඩ තිබෙනවා මාස 03කට වගේ තොග රැස්කර ගත හැකියි, අපි මාස 03ක් වැනි කාලයක් තොග රැස්කර ගත හැකි කණ්ඩායම සමග සාකච්ඡා කර තිබෙනවා. ඔවුන් ළග ප්‍රමාණවත් තොග තිබෙන බව වාර්තා කර තිබෙනවා.
ඒ වගේම, සති දෙකක් ගබඩා පවත්වාගෙන යන අයට ආනයන කටයුතුවලදි ගැටලු මතු විය හැකියි. ඒ නිසා ඔවුන් ආනයනය කරන්නේ කොහෙන්ද? කුමක්ද? යන්න සොයා බලමින් සතොස සහ සමූපකාර තොග සංස්ථාව විසින් බෙදාගෙන තිබෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇති නොවීම පිළිබඳ අපි සැලසුම් සකස් කර තිබෙනවා. ඒ වගේම බෙදාහැරීම් ජාලය අපි විධිමත් කරමින් ඒ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා දීම සිදු කර තිබෙනවා. ඒ නිසා ආහාර සැපයුම් ජාලය බිඳ නොවැටී ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් තිබෙනවා.
අපි සෑම අමාත්‍යාංශයකටම ඉලක්කයක් ලබා දී තිබෙනවා තමන්ගේ අමාත්‍යාංශයේ ඉන්ධනය ප්‍රමාණය අඩු කර ගත යුතුයි. ඒ අනුව, රාජ්‍ය අංශයේ ආයතනවල තෙල් ප්‍රමාණය 25%කින්වත් අඩු කර ගැනිමේ සැලැස්මක් අපි සකස් තිබෙනවා. ඒ සැලැස්මට අනුව එක් දිනයක් රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඔබදන්නවා රාජ්‍ය ආයතන මාර්ගගත ක්‍රමවේදයට සේවා සපයන ආයතන නොවෙයි. පුරවැසියෙක් සේවා ලබා ගැනීමේදී කාර්යාලයට පැමිණිය යුතුයි. ඒ නිසා රාජ්‍ය සේවයේ මාර්ගගත තාක්ෂණය භාවිත කරන අංශ ඉතා අඩුවෙන් තිබෙන්නේ. අපි ඒ ආයතන ප්‍රධානීන්ට බලය ලබා දී තිබෙනවා මාර්ගගත තාක්ෂණය භාවිත කළ අංශ වෙත නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස.
එහෙත් අපි දන්නවා රාජ්‍ය අංශය නිරන්තරයෙන් පුරවැසියන් සිය සේවා ලබා ගැනීම සඳහා කාර්යාලයට එන සංස්කෘතියක් තිබෙන්නේ. ඒ නිසා එම සේවාවන් ලබාදීමේදී බදදා දිනය නිවාඩු ලබාදීමට අපි සැලසුම් කර තිබෙනවා. අපේ අවශ්‍යතාව අඛණ්ඩතාව පවත්වාගෙන යාමයි. දවස් තුනක් රාජ්‍ය සේවය අකර්මණ්‍ය වුවහොත් එම කාලය දිගු වැඩියි. ඒ තුළින් රාජ්‍ය සේවය යම් බිඳ වැටීමකට ලක් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා දවස් දෙකක් වැඩ කරනවා. දවසක් නිවාඩු තිබෙනවා, මේ විදියට අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව රාජ්‍ය සේවයේ ඇති කර ගත යුතු වෙනස්කම් පිළිබඳ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුව ඉතා හොඳින් අධ්‍යයනය කරමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අපිව දැනුවත් කරමින් තිබෙනවා.
ඊළගට විශේෂයෙන් මෙම යුදමය තත්ත්වය දිගුකාලයක් පැවතුණහොත් මේ ආශ්‍රිතව ආර්ථකයේ යෙදෙන අයට යම් ආර්ථික බිඳ වැටීමකට ලක් වෙනවා. ඇතැම් අයගේ රක්ෂණ සහ ණය වාරික පිළිබඳ ගැටලු මෙන්ම ජීවත් වීම පිළිබඳ ගැටලු ඇති විය හැකියි. ඒ පිළිබඳවත් අපි විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. ඒ නිසා, අපි විශේෂයෙන් සමාජ සේවා අමාත්‍ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුව නිරන්තරයෙන් රැස් වෙමින් ආර්ථිකයට සිදුව ඇති බලපෑම හමුවේ ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් ගතයුතු පියවර සොයා බලනවා.
සහනාධාරයක් අවශ්‍යද පොලී රහිත ණයක් අවශ්‍යද යන කරුණු සොයා බැලීමට අපි ඒ කමිටුවට භාර දී තිබෙනවා. ඒ අනුව, අපි ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් ඔස්සේ එනම් බලශක්ති ක්ෂේත්‍රය, රාජ්‍ය සේවය, අත්‍යවශ්‍ය සේවා සැපයීම, සහන අවශ්‍ය කණ්ඩායම්වලට සහන සැපයීම යන ක්ෂේත්‍ර ඔස්සේ අවශ්‍ය මැදිහත්වීම් කරනවා. රට බිඳී නොවැටී පවත්වාගෙන යාම තමයි අපේ අපේක්ෂාව. මේක රජයයට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා රාජ්‍ය අංශයෙත් පෞද්ගලික අංශයෙත් සේවකයින්ගේ, මාධ්‍යවේදින්ගේ, සාමාන්‍ය ජනතාවගේ සියලු දෙනාගේ සහාය අවශ්‍යයි. අපි විශ්වාස කරනවා ඔබ සියලු දෙනා මේකට අනුගතව අපට ඒ සහාය ලබා දෙනු ඇති බව.
අපිට මේ අභියෝගය ජය ගත හැකියි. ඒ සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් තිබෙනවා. අපි එය නිරන්තරයෙන් පසුවිපරම් කරනවා. ඒ නිසා මේ තත්ත්වයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.
නිවසේ සිට වැඩ කිරීමට අවශ්‍ය පහසුකම් සපයන්න කියලා අපි රජයේ සහ පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කළා. රාජ්‍ය සේවයට අපි බදදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා. මේ තත්වය දිගු කාලයක් ඇදී ගියහොත් සමහර කණ්ඩායම්වලට යම් ආර්ථික ගැටලු මතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒ ගැන සොයා බැලීමට උපාලි පන්නිලගේ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. සහනාධාරයක් අවශ්‍යද පොලී රහිත ණයක් අවශ්‍යද යන කරුණු සොයා බැලීමට අපි ඒ කමිටුවට භාර දී තිබෙනවා. ඒ අනුව, අපි ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් ඔස්සේ එනම් බලශක්ති ක්ෂේත්‍රය, රාජ්‍ය සේවය, අත්‍යවශ්‍ය සේවා සැපයීම, සහන අවශ්‍ය කණ්ඩායම්වලට සහන සැපයීම යන ක්ෂේත්‍ර ඔස්සේ අවශ්‍ය මැදිහත් වීම් කරනවා. රට බිඳී නොවැටී පවත්වාගෙන යාම තමයි අපේ අපේක්ෂාව. මේක රජයට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා රාජ්‍ය අංශයෙත් පෞද්ගලික අංශයෙත් සේවකයින්ගේ, මාධ්‍යවේදින්ගේ, සාමාන්‍ය ජනතාවගේ සියලු දෙනාගේ සහාය අවශ්‍යයි. අපි විශ්වාස කරනවා ඔබ සියලු දෙනා මේකට අනුගතයි. අපට ඒ සහය ලබා දෙනු ඇති බව. අපිට මේ අභියෝගය ජය ගත හැකියි. ඒ සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් තිබෙනවා. අපි ඒක නිරන්තරයෙන් පසුවිපරම් කරනවා. ඒ නිසා මේ තත්ත්වයට සාර්ථකව මුහුණු දෙන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.