පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර විශේෂයෙන්ම සෞඛ්‍යය , වරාය, ජලය සහ රේගුව වැනි අත්‍යවශ්‍යයෙන්ම කටයුතු කළ යුතු ආයතන සම්බන්ධයෙන් එම නිවාඩු දිනය අදාළ නොවන බව ද සඳහන් කළේය.
එමෙන්ම අනෙකුත් වැඩකරන සතියේ දින 4දී ද කොපමණ සේවකයින් ප්‍රමාණයක් සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍ය ද යන්න සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දී ඇති බවද ඒ මහතා පැවසීය.
ඒ මහතා ප්‍රකාශ කළේ මේ අතර සියලු රාජ්‍ය උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමටද තීරණය කර ඇති බව යි.