Wednesday, October 22, 2025
Follow Us
“දකුණු ආසියානු සහයෝගිතා පරිසර වැඩසටහනේ (SACEP) කලාපීය මූලස්ථානය” ශ්‍රී ලංකාවේ විවෘත කෙරේ

දකුණු ආසියානු සහයෝගිතා පරිසර වැඩසටහනේ (South Asia Co-operative Environment Programme - SACEP) කලාපීය මූලස්ථානය විවෘත කිරීම ඊයේ (21) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ ලෝක බැංකුව නියෝජනය කරමින් විධායක නිළධාරීන් මෙන් ම පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

1982 වසරේ ස්ථාපිත වූ SACEP ආයතනය දකුණු ආසියානු රටවල් අටක් අතර පාරිසරික සහයෝගිතාව සඳහා කලාපීය අන්තර් රාජ්‍ය වේදිකාවක් ලෙස කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකාවේ මූලස්ථානය පිහිටි SACEP ආයතනය, දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය, සාගර කසළ, තිරසාර සම්පත් කළමනාකරණය, දේශසීමා හරහා සිදුවන වායු දූෂණය, පරිසර අධ්‍යාපනය, අපද්‍රව්‍ය කළමනාකරණය වැනි දැවෙන අභියෝගයන්ට අදාළව සාමූහික ක්‍රියාමාර්ග මෙහෙයවනු ලබයි. එමෙන් ම දකුණු ආසියානු පාරිසරික සහයෝගීතා වැඩසටහනේ [South Asia Co-Operative Environment Programme (SACEP) සත්කාරක රට ලෙස පහසුකම් සැලසීමට අදාළ කටයුතු, එහි උපදේශන කමිටු සැසිවාරයන්ට සහභාගී වීම හා ඒ මඟින් සංවිධානය කරනු ලබන වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම ද සිදු කරනු ලබයි.

දකුණු ආසියාව සඳහා ප්ලාස්ටික්වලින් තොර ගංගා සහ මුහුදු (Plastic Free Rivers and Seas for South Asia - PLEASE) ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුව විසින් ලබා දුන් ඉදිකිරීම් අනුග්‍රහයෙන් මෙම කලාපීය මූලස්ථානය ලංකාවේ ඉදිකරන ලදී. SACEP මූලස්ථාන ගොඩනැගිල්ල ජාත්‍යන්තර හරිත ගොඩනැගිලි ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කර ඇති අතර, එය තිරසාරභාවය වෙනුවෙන් ඇති කැපවීම සංකේතවත් කරනු ලබයි.

මෙම කලාපීය මූලස්ථානය වර්ග මීටර් 1,610ක භූමි ප්‍රදේශයක ඉදිකර ඇති අතර එය SACEP සාමාජික රටවල් සමූහයේ ඒකාබද්ධ ක්‍රියාවලීන් සඳහා අවකාශයක් සපයනු ඇත. මෙම ගොඩනැගිල්ල තිරසාර ඉදිකිරීම් සහ සැලසුම් සඳහා වූ මිණුම් ලකුණ වන ගෝලීය වශයෙන් පිළිගත් ශ්‍රේණිගත කිරීමේ පද්ධතියක් වන බලශක්ති හා පාරිසරික නිර්මාණකරණයේ නායකත්වය (LEED) හි රන් සහතික කිරීමේ (Gold Certification) ප්‍රමිතියට අනුව නිර්මාණය කර ඇත. මෙම ගොඩනැගිල්ල බලශක්ති කාර්යක්ෂම කාර්යාල අවකාශයන්, මුළු බලශක්ති පරිභෝජනයෙන් 20% ක් සපයන සූර්ය පැනල සහ සියල්ලන් ඇතුළත් තිරසාර යටිතල පහසුකම්වලින් සමන්විත වන පරිදි නිර්මාණය කර ඇති වීම ද සුවිශේෂීත්වයකි.

ඉදිරියේ දී මෙම SACEP කලාපීය මූලස්ථානය මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත කරන ලද ප්‍රධාන තිරසාර සංවර්ධන ඉලක්කයන් සමඟ සමපාත වන සහ ඒවාට ආමන්ත්‍රණය කරන පරිසර හිතකාමී නවෝත්පාදන දිරිමත් කිරීමේ කටයුතු සිදු කිරීමට අපේක්ෂා කෙරේ.