Tuesday, October 21, 2025
Follow Us
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 6ක පුද්ගලයින් 8346ක් පීඩාවට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක පවුල් 2052කට අයත් පුද්ගලයින් 8346 දෙනෙකු පීඩාවට පත්ව සිටී. 

සිදුව ඇති අර්ධ නිවාස හානි සංඛ්‍යාව 335කි. 

මේ අතර පෙරේදා පස්වරුවේ අධික වැසි මධ්‍යයේ උපකාරක පංති ගොස් නැවත පැමිණෙමින් සිටියදී අවිස්සාවේල්ල - මාදොල ප්‍රදේශයේ කාණුවකට ඇදවැටී මීටර් 80ක් පමණ ජලයේ ගසාගෙන ගිය 17 හැවිරිදි සිසුවිය අද ජීවිතක්ෂයට පත් වී ඇති අතර ඒ, අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. 

අද රාත්‍රියේ මෙන්ම හෙට (22) දිනයේත් දිවයිනේ පළාත් රැසකට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය ඉදිරි පැය 12 තුළ අඩුපීඩන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවය.  

ගෙවුණු දින කිහිපයේ වගේම ඊයේ රාත්‍රියේ සහ අද දහවල් කාලයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇදහැලුණි. 

අද පෙරවරු 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ ගාල්ල - සිරිකඳුර වතුයායෙනි.

එම අගය මිලිමීටර් 241කි.  

එමෙන්ම, ගාල්ල මොන්රෝවියා ප්‍රදේශයට මිලිමීටර් 229.2ක වර්ෂාපතනයක් සහ ගාල්ල - බලපිටියට මිලිමීටර් 178.6ක වර්ෂාපතනයක් ඇද හැලී තිබුණි.  

දැනට දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවයේ බලපෑම හේතුවෙන් තවදුරටත් ප්‍රදේශ රැසකට ඉතා තද වැසි අපේක්ෂා කෙරේ. 

ඒ් අනුව ඉදිරි පැය 12 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් ‍මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි ඇද හැලිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ෙදිගින් දිගටම ඇදහැලෙන තද වැසි සමඟ දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයකම වාන්දොරටු විවෘත කෙරුණු අතර පවතින තද වැසි සමඟ ප්‍රදේශ රැසක ජලාශවල වාන්දොරටු තවදුරටත් විවෘත කර තිබේ.

ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජංගනය ජලාශයේ වාන්දොරටු 8ක්, අංගමුව ජලාශයේ වාන්දොරටු 2ක් , කලාවැවේ වාන්දොරටු 2ක් ලෙසින්ය.  

මීට අමතරව කුරුණෑගල දැදුරුඔය ජලාශයේ වාන්දොරටු 6ක්ද , මහනුවර පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 03ක් ද තවමත් විවෘතව පවතී. 

එමෙන්ම මොනරාගල අලිකොටආර ජලාශයේ වාන්දොරටු තුනක් සහ මාතලේ ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 04ක් සහ කුරුණෑගල කිඹුල්වානාඔයේ වාන් දොරටු 02ක් විවෘත කර තිබේ.  

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වුණේ මහඔය ධාරා ප්‍රදේශවලට ලැබුණු වැසි සැලකිල්ලට ගෙන ඒ ආශ්‍රිත අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව යන පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.  

එසේම, දැදුරු ඔයේ ජල මට්ටම ඉහළයෑමෙන් වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත ඇතුළු ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.  

පස්සර සිට බිබිල, ලුනුගල සහ මොනරාගල දක්වා ඇති මාර්ගයේ කිලෝමීටර් 13 කනුව ආශ්‍රිතව තෙවන වරට නායයාම් සමග ගල්කඩාවැටීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.  

මේ අතර, පවතින අධික වර්ෂාව සමඟ මහනුවර අස්ගිරිය දොඩම්වල පටු මාර්ගයේ විශාල කොටසක් ඒ අසළ වූ සණස කාර්යාලයද සමඟින් ගිලා බැස තිබේ. 

ප්‍රදේශවාසීන් සඳහන් කළේ, මාර්ගයේ මෙම කොටස ක්‍රමයෙන් ගිලා බැස තිබූ බවය. 

පැවති වැසි සමග ගාල්ල - අක්මීමන ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටී තිබූ අතර, ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව තිබුණේ නොමැත.  

මේ අතර, බගවන්තලාව කැම්පියන් වතුයාය හරහා අද අලුයම හමා ගිය දැඩි සුළගකින් නුග ගසක් කඩා වැටී එම වතුයායේ සමූපාකාර ගොඩනැගිල්ලට දැඩි ලෙස අලාභ හානි සිදුව තිබුණි. 

මේ අතර, අධික වැසි හේතුවෙන් කළුතර - තෙබුවන - පහළ නෑබඩ ප්‍ර දේශයේ නිවසක මුළුතැන්ගෙයි වහලය සහ බිත්තිය අද කඩා වැටී තිබුණි. 

ඉන් නිවැසියන් කිසිවෙකුටත් හානියක් සිදුව තිබුණේ නැත. 

මේ අතර මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක මැදිරියක කොටසකට ඉහළ කෝට්ටේ ප්‍රදේශයේදී පස්කන්දක් නායයාමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට එල්ල වූ බාධාව තවදුරටත් පවතී. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින හමුවේ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට දහවල් 12.00 දක්වා යථා තත්ත්වයට පත්කළ නොහැකි බවය.  

මේ හේතුවෙන් අද රාත්‍රී තැපැල් දුම්රියද ධාවනය නොවන අතර, කොළඹ සිට ධාවනය වන දුම්රිය රඹුක්කන දක්වාත්, බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය පේරාදෙණිය දක්වාත් සීමා කර තිබෙනවා. 

යුද හමුදාවේද සහායෙන් දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු අද දිනයේදී සිදුකෙරුණි.  

පවතින තත්ත්වය යටතේ දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ රැසක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගත්තේය. 

ඒ අනුව බදුල්ල, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවල නායයෑම් අවදානම් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.