ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්යාපෘතීන් හරහා සෘජු විදේශ ආයෝජන ගලා ඒම 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ, ආයොජනයන් සඳහා ලබා ගන්නා ලද විදේශ වාණිජ ණය ඇතුලුව ඇ.ඩො.මිලියන 827 ක් දක්වා ලඟා වූ අතර එය 2024 අනුරූප කාල පරිච්ඡේදය හා සසඳන විට කැපී පෙනෙන සියයට 138 ක වැඩිවීමක් සනිටුහන් කර ඇති බව ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) අද නිවේදනය කළේය.
මෙම ආයෝජන ගලා ඒම මූලාශ්ර හතරකින් සිදු වේ: කොටස් ප්රාග්ධනය – ඇ.ඩො.මිලියන 133, නැවත ආයෝජනය කරන ලද රඳවාගත් ඉපැයීම් – ඇ.ඩො.මිලියන 132, ආයෝජන සඳහා අන්තර් සමාගම් විදේශීය ණය ගැනීම් – ඇ.ඩො.මිලියන 231, ආයෝජන සඳහා දිගු කාලීන විදේශ වාණිජ ණය– ඇ.ඩො.මිලියන 331.
මෙම සෘජු විදේශ ආයෝජන ලැබීම් ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ 2025 දී අත්සන් කරන ලද ව්යාපෘති ගිවිසුම් හරහා ඇමරිකානු ඩොලර් මිලියන 124ක් ලෙස ආක්ෂාත් කර ගන්නා ලද අතර, ඉතිරිය පවතින ව්යාපෘති විසින් නැවත ආයෝජනය කිරීම සහ පුළුල් කිරීම තුළින් උත්පාදනය කරන ලදී.
මෙම ප්රගතිය නව ආයෝජකයින්ගේ වර්ධනය වන විශ්වාසය සහ ශක්තිමත් ව්යාපාරික පරිසරයක් යටතේ තම මෙහෙයුම් පුළුල් කිරීමට පවතින ආයෝජකයින්ගේ අඛණ්ඩ කැපවීම යන දෙකම පිළිබිඹු කරයි.
මීට අමතරව, 2025 පළමු මාස නවය තුළ ආයෝජන මණ්ඩල ව්යාපෘති 163 කින් ඩොලර් මිලියන 326 ක දේශීය ආයෝජනයක් ද සිදු කරන ලදී.
ප්රධාන සෘජු විදේශ ආයෝජන ලැබීම්
මෙම කාලපරිච්ඡේදය තුළ සෘජු විදේශ ආයෝජන ගලා ඒම සඳහා විශාලතම දායකයා වූයේ කොළඹ බටහිර ජ්යාත්යන්තර පර්යන්තය පුද්ගලික සමාගම (Colombo West International Terminal (CWIT) Pvt Ltd) වන අතර එය අති නවීන වරාය යටිතල පහසුකම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 229 ආයෝජනය කළේය.
2022 දී ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අත්සන් කරන ලද උපාය මාර්ගික සංවර්ධන ව්යාපෘති පනත යටතේ පිහිටුවන ලද මෙම ආයතනය ශ්රී ලංකා වරාය අධිකාරිය සමඟ හවුල්කාරිත්වයෙන්, Adani International Port Holdings Pte Ltd (India) සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (John Keells Holdings) ආයතන විසින් මෙහෙයවනු ලැබේ. මෙම ව්යාපෘතිය ඉදිකිරීම් අවසන් වූ පසු, කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය, දකුණු ආසියාවේ ප්රධාන ප්රතිනැව්ගත කිරීමේ මධ්යස්තානයක් ලෙස ශක්තිමත් කරමින්, වරායේ ධාරිතාව TEU මිලියන 3.2කින් පුළුල් කරනු ඇත.
ඉන්දියාවේ CEAT Ltd හි අනුබද්ධිත, ශ්රී ලංකාවේ නව සමාගමක් ලෙස ස්ථාපිත CEAT OHT Lanka Pvt Ltd, ශ්රී ලංකාවේ තරඟකාරී ටයර් නිශ්පාදන කර්මාන්තය තවදුරටත් ස්ථාපිත කරමින් අපනයන වෙළඳපොල සඳහා අධිවේගී මාර්ගයෙන් පිටත (OHT) ටයර් නිෂ්පාදනය කිරීම සඳහා ඇ.ඩො.මිලියන 111 ක දායකත්වයක් ලබා දුන්නේය.
තව ද, Michelin Lanka Pvt Ltd දිගින් දිගටම ශ්රී ලංකාවේ නිෂ්පාදන කටයුතු සඳහා ආයෝජනය කරන අතර, මෙම වසර තුල තම මව් සමාගමෙන් ඇ.ඩො. මිලියන 72ක් ආයෝජනය සඳහා ශ්රී ලංකාවට ගෙන්වා ගත් අතර, Melco Resorts and Entertainment Limited (Hong Kong) හි අනුබද්ධිත ආයතනයක් වන Bluehaven Services Pvt Ltd, ශ්රී ලංකාවේ විශාලතම ඒකාබද්ධ මිශ්ර සංවර්ධන ව්යාපෘතියක් වන City of Dreams Sri Lanka හි විනෝදාත්මක පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඇ.ඩො.මිලියන 85ක් ආයෝජනය කරන ලදි.
මෙයට අමතරව, ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්රියාත්මක වන ප්රධානතම දේපල සංවර්ධන ව්යාපෘතියක් ඇ.ඩො. මිලියන 47ක් යොදවමින් කොළඹ නගරයේ නාගරික සංවර්ධන සඳහා දායක විය.
මෙම ව්යාපෘති පහෙන් ලැබෙන විදේශ ප්රාග්ධන ආයෝජන ගලා ඒම මේ වසරේ වාර්තා වූ මුළු ගලා ඒමෙන් සියයට 66ක් විය. මේවායින් ඔබ්බට, තවත් ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්යාපෘතින් 150 ක් සාමූහිකව ඇ.ඩො. මිලියන 283 ක දායකත්වයක් ලබා දුන් අතර, මෙය විවිධ අංශ හරහා පුළුල් ආයෝජක සහභාගීත්වයක් පෙන්නුම් කරයි.
ආයෝජක විශ්වාසය සහ ආර්ථික ස්ථාවරත්වය
BOI සභාපති අර්ජුන හේරත් මහතා “2025 මුල් මාස නවය තුළ විදේශ ප්රාග්ධන ආයෝජන ගලා ඒම ඇ.ඩො. මිලියන 827 දක්වා වර්ධනය වීමෙන් ශ්රී ලංකාවේ ව්යාපාරික පරිසරය කෙරෙහි ආයෝජකයින් තුළ ඇති නව විශ්වාසය පෙන්නුම් කරයි. පවතින ව්යවසායකයින්ගේ ශක්තිමත් සහභාගිත්වය තුළින් ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය, විනිවිදභාවය සහ යහපාලනය පිලිබඳව ආයෝජකයින්ගේ විශ්වාසය පිළිබිඹු වේ.
රජය සහ ආයෝජන මණ්ඩලය විසින් ක්රියාත්මක කරන ලද ප්රතිසංස්කරණ සහ ව්යාපාර කිරීමේ පහසුව සඳහා ගනු ලබන ක්රියාමාර්ග පිලිබඳ විශ්වාසය තබමින් නව සහ පවතින ව්යාපෘතීන් මෙම ආකර්ෂණීය කාර්ය සාධනයට දායක වී ඇත” යනුවෙන් සඳහන් කරන ලදි.
සභාපතිතුමා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ කොළඹ බටහිර ජාත්යන්තර පර්යන්තය , CEAT OHT Lanka, Michelin සහ Melco වැනි ව්යාපෘති මගින් විදේශ ප්රාග්ධනය ගෙන ඒම පමණක් නොව රැකියා උත්පාදනය, තාක්ෂණය හුවමාරු කිරීම සහ ශ්රී ලංකාව ගෝලීය සැපයුම් දාමයන්ට ඒකාබද්ධ කිරීම ද සිදු කරන බව සහ උපායමාර්ගික ආයෝජන සඳහා පහසුකම් සැලසීමට සහ ශ්රී ලංකාව දිගුකාලීනව ඉහළ වටිනාකමකින් යුත් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සහතික කිරීමට ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය පූර්ණ ලෙස කැපවී සිටින බවයි.
ශක්තිමත් ආයෝජන විභවය සහ අනාගත දැක්ම
2025 ජනවාරි සහ සැප්තැම්බර් අතර, ශ්රී ලංකා ආයෝජන මණ්ඩල නීතියේ 17 වන වගන්තිය යටතේ නව ව්යාපෘති 48ක්, දැනට පවතින ව්යාපෘති පුළුල් කිරීම් 49ක් සහ ශ්රී ලංකා ආයෝජන මණ්ඩල නීතියේ 16 වන වගන්තිය යටතේ අනුමැතිය ලත් ව්යාපෘති 7කින් සමන්විත සමස්ත ඇස්තමේන්තුගත ආයෝජන වටිනාකම ඇ.ඩො. මිලියන 1,060ක් සහිත ව්යාපෘති 104ක් සඳහා ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී. මෙයින්, ඇ. ඩො. මිලියන 540ක් විදේශීය ප්රාග්ධනය නියෝජනය කරන අතර ඇ. ඩො. මිලියන 520 දේශීය ප්රාග්ධනය වේ.
මෙම අනුමත ව්යාපෘති රබර් ආශ්රිත නිෂ්පාදන, සූර්ය බලශක්ති උත්පාදනය, මිශ්ර සංවර්ධන ව්යාපෘති, අපනයනය සඳහා ඖෂධීය භෝග මත පදනම් වූ නිෂ්පාදන, සිමෙන්ති ඇඹරීම සහ ඇසුරුම් කිරීම, පතල් කැණීම සහ සැකසීම, කිරි ආශ්රිත නිෂ්පාදන ආදිය ඇතුළුව පුළුල් පරාසයක විහිදුණු ව්යාපෘති වේ.
එමෙන්ම, තිරසාර ආයෝජක විශ්වාසය සනාථ කරමින් විදුලි සංදේශ, නේවාසික සංවර්ධන, පුහුණු ආයතන සහ නිෂ්පාදන ක්ශේත්රයේ ව්යාපෘති පුළුල් කිරීම් ඇතුලු විවිධ අංශ සඳහා ද අනුමැතිය ලබා දෙන ලදි.
විශේෂයෙන්ම ICT, ඛනිජ තෙල් පිරිපහදු කිරීම, පුනර්ජනනීය බලශක්තිය සහ උසස් තාක්ෂණික නිෂ්පාදන ක්ෂේත්රවල දැනට සාකච්ඡා මට්ටමේ පවතින් නව යෝජනා කිහිපයක් හා දැනට ක්රියාත්මකව පවතින ව්යාපෘතීන් සමඟින්—2025 සඳහා, ආයෝජන සඳහා ලබා ගන්නා විදේශ වාණිජ ණය ඇතුලත් මුළු සෘජු විදේශ ආයෝජන ගලාඒම ඇ.ඩො. බිලියනය (US$ 1 Bn) පසු කරනු ඇතයි ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ විශ්වාසයයි. කලාපය තුළ ජාත්යන්තර ආයෝජන සඳහා තරඟකාරී සහ තිරසාර කේන්ද්රස්ථානයක් ලෙස ශ්රී ලංකාවේ ආයෝජන පරිසරය ශක්තිමත් කරමින්, පහසුකම් සැලසීමේ ක්රියාමාර්ග වැඩි දියුණු කිරීම, අනුමත කිරීම් විධිමත් කිරීම සහ ආයෝජකයින්ගේ ආරක්ෂාව ශක්තිමත් කිරීම කෙරෙහි ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය තවදුරටත් අවධානය යොමු කර ඇත.