රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේද ක්‍රියාත්මකයි. වර්ජනය ක්‍රියාත්මක වන සිව්වන දිනය අදයි. පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම මාරු මණ්ඩලය හරහා සිදු නොකිරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් 7 ක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් අගහරුවාදා මෙම වර්ජනය ආරම්භ කළා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. පවතින ගැටළු විසඳා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර ඊයේ රාත්‍රියේ ද සාකච්ඡාවක් පැවැත්වුණා.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අත පෙවීමක් සිදු නොකරන බවට සහතිකයක් ලැබෙන්නේ නම් සිය වැඩවර්ජනය අත්හිටුවීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ, සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. මෙවර අවසන් මහා තරගයේදී LPL කිරුළ සඳහා තරග වදින්නේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ හටගෙන තිබෙන බිඳවැටීමක් හේතුවෙන් පැයකට ආසන්න කාලයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ ඊයේ දිනයේදීයි. රාත්‍රී කාලයේදී මෙම විදුලි කප්පාදුව සිදු කරන බව ප්‍රකාශ කළ නමුත් ඇතැම් ප්‍රදේශවලට අද පෙරවරුවේද විදුලිය අත්හිටුවා තිබිණි.
අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ඉවත්වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ සාමාන්‍ය දුම්රිය ප්‍රමාණය දෛනිකව ධාවනය කරන ලෙස ඉල්ලා සිටියද බලධාරීන් එය මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි. ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පාර්සල් බාර ගැනීමේ රාජකාරි කටයුතුවලින් ද සිය සමාජිකයින් ඉවත් වූ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
තවත් සති 03 ක් ඉක්ම යනවිට මෙරට තුළ ව්‍යාප්ත ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රෝන් ප්‍රභේදය පත්විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ මෙතෙක් හඳුනා ගත් ඔමික්‍රෝන් ආසාදිතයන් 07 දෙනා සමාජයට නිරාවරණය වීම අධ්‍යයනය කිරීමේදී මේ බව තහවුරු කරගත හැකි බවයි.
ඉන්ධන මිල වැඩිකිරීමත් සමඟ පාසැල් වෑන් රථ ගාස්තු ද ඉහළ නැංවීමට සිදුවන බව සමස්ථ ලංකා පාසැල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. එහි සභාපති මල්ශ්‍රී ද සිල්වා පැවසුවේ ඒ පිළිබඳ නිල තීරණය පාසැල් ආරම්භයට පෙර දැනුම්දෙන බවයි.
Page 309 of 742