Sunday, June 07, 2026
Follow Us
 
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලට කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම පහළ බැස තිබූ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම යළි ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.

 

ජලාශ දෙකෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ විමලසුරේන්ද්ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් සහ පොල්පිටිය ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතු උපරිම ධාරිතාවයෙන් සිදු කෙරෙන බව ද වාර්තා වෙයි.
 
මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන්–නුවරඑළිය සහ හැටන්–කොළඹ ප්රධාන මාර්ගවල ඇතැම් ස්ථානවල ඝන මීදුම් තත්ත්වයක් ද වාර්තා වේ.
 
ඒ හේතුවෙන් ප්රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වන වාහන පැහැදිලිව නොපෙනීමේ අවදානමක් මතුව ඇති බැවින්, වාහනවල ඉදිරිපස ප්රධාන ලාම්පු දල්වාගෙන වේගය පාලනය කරමින් ඉතා සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
 
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කඳුකර මාර්ග භාවිත කරන රියදුරන් සහ මගීන් අවශ්ය ආරක්ෂක උපදෙස් පිළිපදිමින් ගමන් කරන ලෙස ද බලධාරීන් වැඩිදුරටත් දැනුම් දෙයි.