මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් තුළින් පොදු ප්‍රවාහනයේ සුරක්ෂිත බව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන රියදුරන් සහ කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීමේ වැඩසටහන දීප ව්‍යාප්තව සිදුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පවසයි.
හෙතෙම මේ අදහස් පළ කළේ ඊයේ (23) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
"මත්පැන් සහ විෂ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා ප්‍රවාහන ක්ෂේත්රය විශාල අර්බුදයකට ලක්ව තිබෙනවා. ප්‍රවාහනයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අවදානම් රිය ධාවනයට හේතුවන විෂ මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් පොලිසිය, බස් සංගම් ඇතුළු අදාල ආයතන එක්ව මතින් තොර ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම අවශ්‍යයි. ඒ සඳහා ප්‍රායෝගික, විද්‍යාත්මක, නෛතික ක්‍රියාවලියක් පසුගිය කාලයේ පැවතියේ නැහැ. නමුත් වත්මන් රජය මේ සඳහා තිරසර ජාතික සැලැස්මක් යටතේ කටයුතු කරමින් සිටිනවා. මත්ද්‍රව්‍ය භාවිත කර රියදුරු වෘත්තීයේ යෙදෙන්නන් අහඹු ලෙස පරීක්ෂා කිරීමේ නෛතික බලය මේ වන විට පොලිසියට ලබාදී තිබෙනවා.
පොදුවේ සහ රියදුරන්ගේ අසාමාන්‍ය හැසිරීම් නිරීක්ෂණය කර ජංගම රසායනාගාර සේවා මගින් පරීක්ෂා කිරීම් කොළඹ බැස්ටියන් මාවතෙන් ඊයේ දින ඇරඹුවා. එදින පරීක්ෂා කල පනස් නමයෙන් දහ දෙනෙකු මත් ද්‍රව්‍ය භාවිතා කර ඇති බව තහවුරු වීම සංකීර්ණ තත්ත්වයක්.
මේ ප්‍රමාණය කියන්නේ හයෙන් පංගුවක්. මෙය අතිශය බරපතල තත්ත්වයක්. මගීන් සිය ගණනකගේ ජීවිතවල වගකීම දරාගෙන ධාවනයේ යෙදීම බරපතළ අනාරක්ෂිත තත්ත්වයක්.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය ද මීට සක්‍රීයව දායක කර ගනිමින් මේ දරුණු තත්ත්වය හැකි ඉක්මනින් පරාජය කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා සියලු දෙනා නීතිය පිළිබඳ දැනුවත්කමින් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන් බස් හිමියන්, රියදුරු, කොන්දොස්තරවරුන් සහ මගී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වන ලෙසයි. බහුතර සේවක පිරිසක් ප්‍රවාහන ක්ෂේත්රයේ ගෞරවාන්විත සේවාවක නිරත වෙනවා. නමුත් සියයට දාසයක විස්සක් අතර ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිය වෘත්තීය මට්ටම පහලට දමාගෙන තියෙනවා. මේ තත්ත්වය රටට, ආර්ථිකයට පමණක් නොවෙයි ඔවුන්ගේ පවුල්වලට දරුවන්ට සමාජ තත්වයන්ටත් හානිකර ලෙස බලපානවා බස්, කර්මාන්තයක් ලෙස පවත්වා ගැනීමට එය ආර්ථිකයට ලබා දෙන දායකත්වය ස්ථාවර කර ගැනීමට වෘත්තීය ගරුත්වය ඇති පිරිසක් සමග කටයුතුු කිරීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා විධිමත් ආරක්ෂිත වැඩපිළිවෙලක් අවශ්‍යයි.
මගී ප්‍රවාහන සේවාව ජනතා පිළිගැනීමක් සහිත ගුණාත්මක සේවාවක් ලබා දෙන ව්‍යාපාරයක් බවට පත් කල යුතු වෙනවා. 2025 වසරේ රිය අනතුරු වලින් 2700 කට වැඩි පිරිසක් මිය ගියා. වැඩිම හානි සිදු වුණේ පදිකයන්ට හා යතුරු පැදිකරුවන්ට. යතුරුපැදිකරුවන් පදිකයින් 1800කට ආසන්න පිරිසක් මිය ගියා. ඒ අය ආර්ථික හා සාමාජීය වශයෙන් අසරණ වූ අය. එම නිසා බස් හිමියන් ලෙස වගකීමක් තියෙනවා තමන් ළඟ මත්ද්‍රව්‍ය භාවිතා කරන පිරිස් සිටී නම් ඉවත් කරන්න. ශාරීරික යෝග්‍යතා ඇති පිරිස් පුහුණු කර සිය බස් කාර්මාන්තයට දායක කරගන්න.
මුළු රටටම ව්‍යසනයක් වී ඇති මත් ද්‍රව්‍ය තුරන් කිරීමට රජය උපරිම ලෙස මැදිහත් වෙනවා. එහිදී බස් හිමියන්ට, බස් සංගම්වලට අවශ්‍යනම් නොමිලේ රසායනාගාර පහසුවක් ලබාදීමට හැකියාව තිබෙනවා. රිය අනතුරුවලින් සියයට පනස්තුනක්ම සිදුවන්නේ රියැදුරන්ගේ වරදින්. අපරීක්ෂාකාරී ධාවනයෙන්. මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් මගී ප්‍රවාහන රථවල සේවකයන් විදියට යොදා නොගන්නා ලෙස ඉල්ලීමක් කරනවා. මිනිසුන් රකින රජයක් ලෙස මුළු රාජ්‍ය යාන්ත්‍රයේම ශක්තිය යොදා පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව තහවුරු කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නවා.