ජනාධිපති අරමුදලේ කටයුතු ප්රාදේශීය මට්ටම දක්වා විමධ්යගත කිරීමට අදාළව සබරගමුව පළාතේ සියලු ප්රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් සඳහා විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (23) රත්නපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති අරමුදලේ සියලු කාර්යයන් ප්රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්යගත කිරීමත් සමඟ ඊට ලැබෙන අයඳුම්පත් සංඛ්යාව ඉහළ ගොස් ඇත. ඒ සමඟම පරිගණක මූලික කරගත් නව මාර්ගත ක්රමවේදය (Online System) පිළිබඳව ප්රාදේශීය ලේකම් කාර්යාලවල අදාළ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා පුහුණු කිරීම අත්යවශ්ය වී තිබේ.
ඒ අනුව සබරගමුව පළාතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත්රික්කවල ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීන් දැනුවත් කිරීම සිදු කෙරුණු අතර සබරගමුව පළාතේ ජනාධිපති අරමුදලේ ප්රතිලාභීන් ප්රමාණය වැඩි කිරීම, ප්රතිලාභීන් වෙත ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීම, නවීකරණය වූ මාර්ගගත ක්රමවේද හදුන්වා දීම හා වඩාත් කඩිනම් සේවාවන් සැපයීම පිණිස අදාළ දැනුම හා පුහුණුව ලබා දීම මෙම වැඩසටහන මඟින් අපේක්ෂා කෙරේ.
ජනාධිපති අරමුදලේ කාර්යභාරය පිළිබඳව ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් මෙහිදී පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී.
පරිගණක පද්ධතියේ ආරක්ෂාව සහ භාවිතය පිළිබඳව මෙන්ම වෛද්යාධාර අයදුම්පත් භාර ගැනීමේ සිට අනුමැතිය දක්වා සිදු වන ක්රියාවලිය සහ අනුමත වීමෙන් පසු වෛද්යාධාර ගෙවීමේ ක්රියාවලිය පිළිබඳවද ජනාධිපති අරමුදලේ ජ්යෙෂ්ඨ නිලධාරීහු කරුණු පැහැදිලි කළහ.
එමෙන්ම, විෂය නිලධාරින් මුහුණ දෙන ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසඳුම්ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර සහභාගිත්වය වෙනුවෙන් විෂය භාර නිලධාරින් වෙත සහතික පත් ප්රදානය කිරීමක්ද සිදු කෙරිණි.
අදාළ දිස්ත්රික් ලේකම්වරු, ප්රාදේශීය ලේකම්වරු සහ ප්රාදේශීය ලේකම් කාර්යාලවල විෂය නිලධාරින් සහ ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.