ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 37 වන පොලිස්පති වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව පත් කරන ලදි.
ඒ අනුව නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නව පොලිස්පති ධූරයේ රාජකාරි භාර ගැනීම, 2025 අගෝස්තු මස 14 වන දින කොළඹ 02 පිහිටි පොලිස් මූලස්ථානයේ දී සිදු කිරීමට නියමිතව ඇත.
37 වන පොලිස්පති ධූරය ශ්‍රී ලංකා පොලිසියේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන්නේ ය. එයට හේතුව ශ්‍රී ලංකා පොලිසියට ඉඳුරාම බඳවා ගනු ලබන ක්‍රම ත්‍රිත්වයෙන් ම ශ්‍රී ලංකා පොලිසියට බැඳුණු එකම නිලධාරියා මෙලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 37 වන පොලිස්පතිවරයා වශයෙන් පත්වීමයි.
1969 පෙබරවාරි 09 වන දින උපත ලද වීරසූරිය ලියන ආරච්චිගේ සමන් ප්‍රියන්ත, දොඩංගොඩ නෑහින්න කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන හදාරා ඉන් අනතුරුව කළුතර ඥාණෝදය මහා විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපන කටයුතු සිදුකරන ලදි.
අධ්‍යාපනය ලබන අවධියේදිම ශ්‍රී ලංකා පොලිසිය තම වෘත්තීය ගමන්මඟ වශයෙන් තෝරා ගනිමින් 1988.05.20 දින පොලිස් ව්‍යූහයේ කනිෂ්ඨ තනතුරකින් ඇතුලත්වන ලදී.
අනතුරුව 1990 වසරේ අ.පො.ස උසස්පෙළ සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට සුදුසුකම් ලබන ලදී. ඉන් අනතුරුව 1992 වර්ෂයේදී උප පොලිස් පරීක්ෂක ශ්‍රේණියට ඉදුරාම බදවා ගැනීම යටතේ ආධුනික උප පොලිස් පරීක්ෂක වරයෙකු ලෙස ඇතුලත් විය. පොලිස් සේවයේ සිටියදීම 1993 වර්ෂයෙන් ආරම්භව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීති උපාධිය 1998 දක්වා සාර්ථකව හදාරණ ලදී.
තම උපාධිය මුලික සුදුසුකමක් කරගනිමින් 1999 වර්ෂයේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සෘජුවම පොලිස් සේවයට ඇතුලත්ව මුලික පුහුණුව ලබන අවධියේදීම එනම් 1999 වර්ෂයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රසිද්ධ නොතාරිස්, දිවුරුම් කොමසාරිස් හා නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දෙන ලදී. මීට අමතරව, කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිය ද ලබාගෙන ඇත.
2007 වර්ෂයේ පොලිස් අධිකාරි ධූරයට ද, 2012 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධූරයට ද, 2016 වර්ෂයේ නියෝජ්‍ය පොලිස්පති ධූරයට ද, 2020 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට ද උසස්වීම් ලබා ඇත.
ප්‍රියන්ත වීරසූරිය මහතා, වසර 37 ක සේවා කාලය තුළ පොලිස් කොට්ඨාස ගණනාවකම අධ්‍යක්‍ෂවරයකු හා කොට්ඨාස භාර නිලධාරියෙකු ලෙස ද, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස ද, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස ද පරිපාලන රාජකාරි හා කේෂේත්‍ර රාජකාරිවල දක්ෂ කාර්යශුර අත්දැකීම් බහුල නිලධාරියෙකු වූ බැවින්, නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා 2024.09.27 වන දින සිට පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා ගරු ජනාධිපතිතුමා විසින් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව පත් කරන ලදි.
පොලිස් සේවයේ විවිධ රාජකාරි හා අවශ්‍ය යටිතල පහසුකම් පිළිබඳව විවිධ සමීක්ෂණයන් සිදුකරමින් ව්‍යාපෘති කිහිපයක්ද සක්‍රීයව සිදුකරණ ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් නිලධාරින්ගේ සුභ සාධනයන් වලට වැඩි අවධානයක් ලබාදෙමින් නිල ඇදුම් අවශ්‍යතා, ක්‍රීඩා ඇදුම් කට්ටල, ක්‍රීඩා සපත්තු හා පොලිස් නිලධාරින්ගේ විශේෂ රජාකාරි වලදී භාවිතා කිරීමට ඇද ඇතිරිලි වැනි දෑ නිකුත් කිරීමද ප්‍රියන්ත වීරසුරිය මහතාගේ හදුන්වාදීම් විය.
වැඩ බලන පොලිස්පතිවරයා ලෙස රාජකාරි කිරීමේ දි ජාත්‍යන්තර පොලිසි රාජතාන්ත්‍රික මට්ටමින් හවුල් කර ගනිමින් මනා සබඳතාවයන් ගොඩ නංවාගනිමින් අපරාධකරුවන් විදේශ රටවලදී අත් අඩංගුවට ගැනීම හා ගෙන්වා ගැනීමට සහයෝගයෙන් කටයුතු කරනු ලබයි. එමෙන්ම කනිෂ්ඨ හා පරීක්ෂක ශ්‍රේණියේ නව බඳවා ගැනීම් කඩිනම් කිරීමද සිදු කෙරිනි. කනිෂ්ඨ හා පරීක්ෂක ශ්‍රේණිවල හා විධායක ශ්‍රේණියේ SOR අනුමත කරගැනීම මෙන්ම උසස්වීම් වලට අදාල ගැටලු විසදීම සඳහා කටයුතු වත්මන් කාලයේ ආරම්භ කරන ලදී.
මහජනතාව වෙනුවෙන් පොලිස්පති සහන මැදිරිය, මහජන දිනයන් පැවැත්වීම ඕනෑම අවස්ථාවක මහජන පැමිණිලි හා තොරතුරු ලබාදීම සඳහා Whatsapp සමුහයන් හදුන්වා දීම. Govpay වැනි නියාමන ව්‍යාපෘති, මුලස්ථාන මටිටමින් ආරම්භ කිරීම හා පළාත්බඳ අපරාධ විමර්ෂණ කොට්ඨාස ආරම්භ කිරීමත් පොලිස් නිලධාරින්ගේ සේවාවන් ගුණාත්මක කිරීමත් සුවිශේෂි වේ.
පොලිස් නිලධාරින්ගේ රාජකාරි නිසිලෙස අධීක්ෂණය කිරීම දුර්වල නිලධාරින් හදුනා ගැනීම හා දුෂිත නිලධාරින් සේවයෙන් ඉවත් කිරීම වැනි සාධනීය කටයුතු ක්‍රියාත්මක කිරීම පොලිස් සේවයේ අභිවෘද්ධිය සඳහා ගත් දීර්ඝ කාලින සැලසුම් වේ. ඒ සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නිසි මාර්ගෝපදේශයන් ලබා ගනිමින් සරල විසදුම් වෙනුවට පොලිස් නිලධාරින්ගේ විවාහක නිල නිවාස වැඩි කිරීම සඳහා නව නිවාස සංකීර්ණ මිල දී ගැනීමට සැලසුම් සකස් කිරීම වැනි සංකීර්ණ හා දිර්ඝ කාලින විසදුම් සෙවිම ගුණාත්මක කාර්ය භාරයන් වේ.
ප්‍රියන්ත වීරසූරිය මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී නිලධාරින්ගේ ජීවිත ආරක්‍ෂාව සම්බන්ධ පුහුණු පාඨමාලාව සහ සුදු කරපටි අපරාධ සම්බන්ධයෙන් වන පාඨමාලාව ද, බංගලාදේශයේ දී දිගු දුර ආරක්‍ෂණ පාඨමාලව ද, වියට්නාමය හා ඕස්ට්‍රේලියාවේ දී නීතිය ක්‍රියාත්මක කිරීම සහ කළමනාකරණ පිළිබඳ පාඨමාලාවන් ද, තායිලන්තයේ දී කළමනාකරණ සහ පරිපාලන පාඨමාලාව ද, රුසියාවේ ආරක්‍ෂණ තාක්‍ෂණය පිළිබඳ පාඨමාලාව ද, රාජකීය මැලේසියානු පොලිසියේ කෘතිම බුද්ධිය සහ නායකත්වය සම්බන්ධ පාඨමාලාව ද ඇතුළු විදේශීය හා දේශීය පුහුණු පාඨමාලා බොහොමයක් සාර්ථකව හදාරා ඇත.
එසේ ම, 2008 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා නැගෙනහිර ටිමෝරය සහ හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ද ඍජු දායකත්වයක් දක්වා ඇත.
මේ අනුව, ශ්‍රී ලංකා පොලිසියේ විවිධ කඩඉම් පසුකරමින්, දක්‍ෂ හා කාර්යශුර ලෙස මෙන් ම අවංකව හා වගවීමෙන් යුතුව පොලිස් රාජකාරි ඉටු කළ කීර්තිමත් පොලිස් නිලධාරියෙකු වන නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 37 වන පොලිස්පතිවරයා වශයෙන් ධූරයේ රාජකාරි භාර ගැනීමට නියමිතය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය.