පොහොසත් රටක් - ලස්සන ජිවිතයක් උදා කර ගැනීමේ අරමුණ පෙරදැරිව රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “Clean Sri Lanka”සංකල්පය උතුරු පළාතේ ප්‍රවර්ධනය කිරීමේ යාපනය දිස්ත්‍රික් වැඩසටහන නල්ලූර් කන්දස්වාමි කෝවිලේ මහා මංගල්‍යයට සමගාමීව අද (13) ආරම්භ කෙරිණි.
“හදවතින් යාපනයට - Clean Voyage of Unity ”තේමාව යටතේ අද සිට අගෝස්තු 20 වන දා දක්වා පැවැත්වෙන වැඩසටහනේ ආකර්ෂණීය ප්‍රවේශයක් ලෙස කොළඹ සිට යාපනය බලා අද (13) පෙ.ව 6.40ට ගමන් ඇරඹූ යාල් දේවි දුම්රියෙහි ගමන් වාරය අතරතුර ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
එහි සමාරම්භක අවස්ථාව අද (13) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී පැවැත් වුණු අතර,
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතාද එම අවස්ථාවට එක් විය.
ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය පිළිබඳව එම දුම්රියේ ගමන් ගත් මගීන් දැනුවත් කිරිම, පොදු දේපළ ආරක්ෂා කිරීම සහ ඒ පිළිබඳ ආකල්පමය පෙළඹුමක් ඇති කිරීම මෙන්ම, සදාචාරාත්මක වටිනාකම් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණු විය.
ශ්‍රී ලංකාවේ පොදු උරුමයක් ලෙස සැලකෙන දුම්රිය ප්‍රවාහන මාධ්‍යය පිළිබඳව පොදුවේ ප්‍රජාව තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමට මෙන්ම හදිසි අවස්ථාවක ප්‍රථමාධාර ලබා දෙන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමටද ක්‍රියාකාරකම් සංවිධානය කර තිබිණි.
සිංහල හා දෙමළ කලාකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගනිමින් සංගීතමය වැඩසටහනක්ද මේ සඳහා එක් කර තිබිණි.
ෆෙයාර් ෆස්ට් ඉන්ෂුවරන්ස් ආයතනය, සිංහගිරි පුද්ගලික සමාගම, සැම්සන් රබර් ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ සහ ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයේ සහාය ඇතිව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධාන කර තිබේ.