Tuesday, July 08, 2025
Follow Us
ගෝඨා දිනන බවට ජවිපෙන් ඉඟියක්

නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් ඊට පසුදිනම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහක් පමණ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබා දීමට සූදානම්ව සිටින බව තමා ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් මන්ත්‍රීවරුන් දහයක් පහළොවක් නොව මන්ත්‍රීවරුන් හතළිහක් පමණ එක්සත් ජාතික පක්ෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීමට සූදානම්ව සිටින බවද බිමල් රත්නායක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 26 මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ පසුව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට සහය ලබා දීමට ඉදිරිපත් වූ බවත් තවත් පිරිසක් සහය ලබාදීමට ඉදිරිපත් වීමට සූදානම් වූ අවස්ථාවේදී එම මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය විසින් රැකගෙන ඇත්තේ මුදල් ලබාදී බවද බිමල් රත්නායක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

තමා සහ ඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සිටින විට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙකු ඔවුන් අතරට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් රඳවා ගෙන ඇත්තේ මුදල් ලබා දීමෙන් බව ද ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහක් පමණ මුදල් ලබාදී ඉතා අමාරුවෙන් රදවා ගත් බවත් තවත් ටික දවසක් ගියා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැත්තෑවක් පමණ මුදල් ලබාදී රඳවාගැනීමට සිදුවන බවට එම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයා තමන් සමග ප්‍රකාශ කළ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(Lanka Leads)