සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳ ගැටලු විමර්ශනය කිරීම සඳහා පත් කළ රජයේ ගිණුම් පිළිබඳ අනු කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සකස් කළ වාර්තාවේ කෙටුම්පතෙහි සඳහන් නිර්දේශ සම්බන්ධයෙන් ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡා කිරීම සිදු විය.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දීය.
විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2019, 2020 හා 2021 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සලකා බැලීම සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා 2023.09.20 දින පවත්වන ලද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මතු වූ කරුණු අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතින ආයතන හා ඒවායේ කාර්යභාරයන් සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කොට විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මතු වී තිබුණි.
ඒ අනුව කෝපා කමිටුව විසින් අනු කාරක සභා දෙකක් පත් කළ අතර ඉන් එක් අනු කාරක සභාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳ ගැටළු විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිස්ස අත්තනායක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කොට තිබුණි.
මේ අනුව මෙම අනු කාරක සභාව 2023.09.27 දින සිට අවස්ථා 6ක් රැස් වී අවශ්‍ය අංශ සම්බන්ධ කර ගනිමින් සාකච්ඡා පවත්වා මෙම වාර්තාවේ කෙටුම්පත සකස් කොට නිර්දේශ 19ක් ඉදිරිපත් කොට තිබේ.
මේ අනුව මෙම නිර්දේශ සම්බන්ධයෙන් කෝපා කමිටුව මෙහි දී සලකා බැලීම සිදු විය.
මෙම කෙටුම්පත් වාර්තාව කෝපා කමිටුවට ඉදිරිපත් කරමින් අනු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ හදිසි ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් විශාල ගැටලු ප්‍රමාණයක් මෙම අනු කමිටුවට අනාවරණය වූ බවත් ඒවා අවම කිරීමට නිර්දේශ මෙම වාර්තාව මගින් ඉදිරිපත් කරන බවත්ය.
එසේම ප්‍රසම්පාදනය සඳහා දීර්ඝ කාලයක් ගතවීම සම්බන්ධයෙන් මතුවන ගැටලු අවම කිරීමටද නිර්දේශ ඉදිරිපත් කොට ඇති බව ද හෙතෙම පැවසීය.
මේ අනුව මෙම වාර්තාවේ සඳහන් නිර්දේශ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරියේ දී මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.