කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සාමය සහ ආරක්ෂාව සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රතිපත්ති පිළිබඳ දැනුම භාෂා බාධාවකින් තොරව ලබාගැනීමේ අවස්ථාව පුළුල් කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ “කාන්තාව, සාමය සහ ආරක්ෂාව” පිළිබඳ යෝජනාවල නිල නොවන සිංහල සහ දෙමළ පරිවර්තන එළිදැක්වීම පසුගියදා (31) සිදු කෙරිණි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 යෝජනාවේ 26 වැනි සංවත්සරයට සමගාමීව පැවැති මෙම අවස්ථාව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පැවැත්විණි.
සාමයට පියමං (Pathways to Peace) සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය ප්රමුඛ කැනේඩියානු රජයේ අනුග්‍රහයෙන් මෙම පරිවර්තන කටයුතු සිදුකර තිබේ. එහිදී අදාළ පරිවර්තනවල මුද්‍රිත පිටපත් ද පිළිගැන්විණි.
කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ න්‍යාය පත්‍රය යනු සන්නද්ධ ගැටුම් හා යුදමය තත්ත්වයන් තුළ කාන්තාවන් සහ ගැහැනු ළමුන් මුහුණ දෙන විශේෂිත අභියෝග හඳුනාගනිමින්, ගැටුම් වැළැක්වීම, සාමය ගොඩනැගීම සහ ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රියාවලීන් සඳහා කාන්තාවන්ගේ සමාන හා සක්‍රීය සහභාගීත්වය සහතික කිරීම අරමුණු කරගත් ජාත්‍යන්තර ප්‍රතිපත්තිමය රාමුවකි.
2000 ඔක්තෝබර් 31 වැනිදා සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 යෝජනාව මඟින් ගැටුම් වැළැක්වීම, ගැටුම් නිරාකරණය, සාම සාකච්ඡා සහ සාමය ගොඩනැගීමේ ක්‍රියාවලීන්හිදී කාන්තාවන්ගේ භූමිකාව සහ සහභාගීත්වය අවධාරණය කර තිබේ. එමෙන්ම සන්නද්ධ ගැටුම්වලදී කාන්තාවන් හා ගැහැනු ළමුන් ආරක්ෂා කිරීම, ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය වැළැක්වීම සහ සහන හා ප්‍රතිසංස්කරණ කටයුතුවලදී කාන්තාවන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගැනීම ද එහි ප්‍රධාන අරමුණු අතර වේ.
මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, ජාත්‍යන්තර ප්‍රතිපත්ති, යෝජනා සහ තීරණ පිළිබඳ දැනුම භාෂා බාධාවකින් තොරව සියලු දෙනාටම ලබාගත හැකි වීම, කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය පුළුල් කිරීමටත්, සාමය හා ආරක්ෂාව සම්බන්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා කාන්තාවන්ගේ සක්‍රීය දායකත්වය ඉහළ නැංවීමටත් වැදගත් පියවරක් බවයි.
“භාෂාව දැනුමට බාධාවක් නොවිය යුතු අතර, දැනුවත්භාවය, සමානත්වය සහ සහභාගීත්වය තුළින් සාමකාමී සමාජයක් ගොඩනැගීම අප සැමගේ වගකීමක්” බවද අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ඉසබෙල් මාටින් (Isabelle Martin) මහත්මිය, සාමයට පියමං සංවිධානයේ නියෝජිතයන් සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු එක්ව සිටියහ.