Tuesday, November 03, 2026
Follow Us
කලාවැව ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි ඇතුළු නඩු භාණ්ඩ රැසක් අත්අඩංගුවට
අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ වනසතුන්ට එල්ල වන තර්ජන අවම කිරීමේ අරමුණින් ඊයේ(02) කලාවැව ආශ්‍රිතව ආරම්භ කළ ‘හස්ති සේනා’ මෙහෙයුමේදී අනවසර ගිනි අවි, මදු, හක්කපටස් සහ පතොරම් ඇතුළු නීතිවිරෝධී භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.

 පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ මූලිකත්වයෙන් පරිසර අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව වයඹ වනජීවී කලාපයේ කලාවැව ආශ්‍රිතව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. අලි ඇතුන් ඇතුළු වනසතුන් ඝාතනය කිරීම සඳහා යොදාගත හැකි අනවසර ගිනි අවි ඇතුළු නඩු භාණ්ඩ රැසක් මෙහිදී සොයාගෙන ඇති අතර, ඒවා ඉදිරි නීතිමය කටයුතු සඳහා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අලි ඇතුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන අනවසර ගිනි අවි, හක්කපටස්, අනවසර විදුලි රැහැන් සහ මදු සම්බන්ධයෙන් වැටලීම් සිදුකරමින් නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද නියමිතය. මෙම මෙහෙයුමට පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා, වයඹ පළාත භාර වනජීවී අධ්‍යක්ෂ පුෂ්පන්ත විමලදාස මහතා, පරිසර අමාත්‍යාංශයේ උපදේශක රවින්ද කාරියවසම් මහතා සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
 
එමෙන්ම 21 වන සේනාංකයේ මේජර් ජෙනරාල් කමින්ද සිල්වා මහතා, 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බස්නායක මහතා සහ ලුතිනන් කර්නල් අබේවික්‍රම මහතා ද මෙයට එක්ව සිටියහ