ආණ්ඩුවක්, ඇමැති මණ්ඩලයක් වෙනස් කළ හැක්කේ මහ මැතිවරණයකිනි. පළාත් පාලන මැතිවරණයකින් පළාත් සභා හා ප්‍රාදේශීය සභා නියෝජිතයන් පත්වනවා මිස ඇමැති මණ්ඩලය හෝ ආණ්ඩුව වෙනස් නොවන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
එහෙත් ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාව මැතිවරණයක් නම් එය එසේ ම විය යුතු බව ඔහු පෙන්වා දෙයි.
ඔහු වැඩිදුරටත් මෙසේ පවසයි
“ බරපතල අවදානමක් හමුවේ කඩාවැටීමට ඔන්න මෙන්න තිබූ රටේ බර දරන්නට අද ඡන්දයට කෑ ගසන කිසිවකු එදා පැමිණියේ නැත. එහෙත් හය මසක් තුළ සීරුමාරුවට රට ද යම් ස්ථාවරයකට පැමිණ තිබේ. මුදල් අච්චු ගසා ජනතා ප්‍රශ්න යටගැසීමට උපදෙස් දුන් ඉහළ ම රාජ්‍ය නිලධාරීන් පවා උද්ධමනය ඉහළ යද්දී, තෙල් ගෑස් පෝලිම් නිර්මාණය වෙද්දී බඩු මිල අහස උසට නගිද්දී ඇගිල්ල දිගුකළේ දේශපාලනඥයා වෙතය. රාජ්‍ය සේවක වැටුපට, විශ්‍රාම වැටුපට, සමෘද්ධි දීමනාවට මුදල් අච්චු නොගැසීම තුළ ඒවාට පවා මුදල් නොමැතිව තිබේ. මිලියන දෙකක් වෙනුවෙන් මිලියන විසි දෙකක ජනතාවක් අපහසුතාවට ලක් කරන්නට අප සූදානම් නැත. සමෘද්ධියට, රාජ්‍ය සේවක වැටුපට ඉතිරි ව ඇති සොච්චම ද ආණ්ඩුව වෙනස් නොවන, මහජන නියෝජිතයන් අටදහසක් අලුතින් පත්කර ඒ බරත් මහජනතාවට ම පටවන ඡන්දයකට යොදවනවාට අකමැති එහෙයිනි. එවන් මැතිවරණයක් අත්‍යවශ්‍යම නම් මුදල් අච්චු ගැසීමට සිදුවනු ඇත. යළිත් බඩු මිලත් උද්ධමනයත් ඉහළ යනු ඇත. තෙල් ගෑස් පෝලිම් එනු ඇත. තවත් මහජන නියෝජිතයන් අටසහසකගේ බර අලුතින් එක්වනු ඇත. මේ සියල්ලට ම ජනතාව ද එකග නම් අපට ද කේන්තියකින් තොර ව ඡන්දයට පැමිණිය හැකි ය “