මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම පිළිබඳ අවසන් තීරණය සඳහා ලබන බදාදා නැවතත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හමුවීමට තීරණය කරයි.
පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 වැනිදා දක්වා රැස්වීමට අද (13) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
මෙම සෑම දිනකම පාර්ලිමේන්තුව පෙ.ව 9.30 ට රැස්වන අතර 20 වැනි සිකුරාදා හැර සෑම දිනකම පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇත.
ලබන 17 වැනි අගහරුවාදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2307/12 සහ 2308/26 යන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද රෙගුලාසි ද විදේශ විනිමය පනත යටතේ අංක 2308/51 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග ද විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිත බව මහලේකම්වරයා පැවසීය.
ඉන් අනතුරුව පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතා විසින් ඉදිරිපත් කරන ලද පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත (අංක 126) සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත (අංක 160) දෙවනවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිතව ඇත.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
ජනවාරි 18 වැනි බදාදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබේ. ව්‍යවස්ථාපිත ආයතන කිහිපයකට අදාළව පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශයක කාරක සභාවල අනුමතිය හිමිව ඇති වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා 22 ක්ද අනතුරුව අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත.
අනතුරුව එදින ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමක් ලබන 18 වැනිදා ප.ව 1.00 ට පැවැත්වීමටත් මෙහිදී එකඟත්වය පළවී ඇති අතර එහිදී කාරක සභාව තීරණය කළහොත්, ලබන 19 වැනිදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම විවාදයට ගැනීමට නියමිතය.