Thursday, January 29, 2026
Follow Us
අගමැති නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමේදී සියලු පාර්ශවවලින් ඉල්ලීමක් කරයි

ආහාර සුරක්ෂිතභාවය සහ ග්‍රාමීය ආර්ථික පුනර්ජීවනය උදෙසා ප්‍රමුඛත්වය දෙමින් අනෙක් සෑම ක්ෂේත්‍රයක ම සංවර්ධනයට සක්‍රියව කටයුතු කිරීමට එක්වන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රජය සහ පාර්ලිමේන්තුව වෙනුවෙන් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කළේය.



ජන ජිවිතයට බලපාන දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන උපායමාර්ග තුළ කටයුතු කළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා  පසුගියදා (05) 2023 නව වසරේ ආරම්භක පාර්ලිමේන්තු රැස් වූ අවස්ථාවේදීය.

අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

“ගරු කතානායකතුමනි,  පළමුවෙන් 2023 වසර සඳහා අප රැස්වෙන පළවෙනි අවස්ථාවේ රජය වෙනුවෙන් කතානායකතුමාට, උප කතානායකතුමාට සහ සියලුම ගරු මන්ත්‍රීතුමන්ලාට අපේ සුභාශිංසන මේ අවස්ථාවේ පිරිනමන්න කැමතියී. ඒ වාගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් කරන ලද ප්‍රකාශයන් පරිදි ඉදිරි වසර හැටියට අප මේ අභියෝග ජයගත හැකි වසරක් බවට පරිවර්තනය කිරීමට කැප වී කටයුතු කිරීමට රජය වශයෙනුත්, පාර්ලිමේන්තුව වශයෙනුත් එක්සත්ව එකමුතුවෙන් කටයුතු කිරීමේ අවස්ථාව සඳහා එකට වැඩ කිරීමේ අභිලාෂය මේ අවස්ථාවේ යළිත් ප්‍රකාශ කර සිටිනවා.

ඒ වෙනුවෙන් මේ අවස්ථාවේදී නව අවුරද්දේ සුභාශිංසන පමණක් නොව, සකලවිධ අභියෝග රැසක් අභිමුව වඩවඩාත් යහපත් රටක් ගොඩ නඟන්නට අප කැප වී කටයුතු කරමු. විශේෂයෙන් ආහාර සුරක්ෂතභාවය හා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවනය උදෙසා ප්‍රමුඛත්වය දෙමින් අනිත් සෑම අංශයක් සඳහාම සංවර්ධනාත්මක ව්‍යායාමයන් තුළ සක්‍රීයව කටයුතු කරමු. ජන ජීවිතයට බලපාන දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන උපාය මාර්ග තුළ කටයුතු කරමින් නව වසරේ වඩාත් සුබදායී රටක නැඟීමේ රටවැසි ජනතාවගේ ඒ බලාපොරොත්තුව සමඟ එකට අත්වැල් බැඳගෙන වැඩ කරන්ට රජය වෙනුවෙන් යළිත් අප ආයාචනා කරනවා.

ඒ වගේම අප රට 75වෙනි නිදහස් දින සංවත්සරයට මසක් ඇතුළතදී ගමන් කරනවා. ශ්‍රී ලංකාව, ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගනිමින් සර්වජන ඡන්ද බලය ජනතාව විසින් තමන්ගේ අභිමතය  ප්‍රකාශ කිරීම සඳහා ආණ්ඩු ඇති කිරීමට, ආණ්ඩුවල ගමන් මාර්ග තිරණය කිරීමට ගත්තා වූ ක්‍රියාදාමය අතර ලෝකයේ සර්වජන ඡන්ද බලයක් 91 වසරක් පාවිච්චි කළ  ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රීය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ගරු සියලු මන්ත්‍රිතුමන්ලාගේ සහාය මේ ඉතාම වැදගත් අවස්ථාවේ 75වෙනි නිදහස් සැමරු අවස්ථාවට පිවිසෙන අප යළිත් සිහිපත් කරන්න කැමතියී.

පසුගිය කාල පරිච්ඡේදය නියෝජ්‍ය කතානායකතුමනි, ඇතිවුණු අර්බුද හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන රජය ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් නීතිය පිරිහී යාම අතින්, ඒ වාගේම රට ජාත්‍යන්තරව ඇති කළ යුතු විශ්වාසය හා ශක්තිමත්භාවය වෙනුවෙන් පියවර රාශියක් ගෙන ප්‍රගතියක් ඇති කර තිබෙන බවම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියී.

විවේචනයන්ට ඉඩ දෙමින්, විවේචනයන්ද සලකා බලමින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ශක්තිමත් කොට තිබෙනවා. විශේෂයෙන් ආර්ථික අවුලක තිබුණු ජූලි මාසය වෙනස් කර ගෙන අද එදිනෙදා මහජනතාවගේ අවශ්‍යතාවන් ඇති කර දීමට පුළුවන් කත්ත්වය ඇති කර තිබෙන බව ඒ විශ්වාසය රට පුරාම පවතිනවා.

ජීවන වියදමේ ගැටලු ඇති, ජීවන වියදම වැඩිවීම පිළිබඳ බර ඇති, නමුත් රජය මේ අභියෝගයෙන් ගොඩ නැඟීම සඳහා සියලු දෙනාට එකමුතුවෙන් කාරණා හරහා ගමන් කරන්ටත්, විසදුම් සෙවීමටත් අපි යළිත් විශ්වාසය සඳහන් කරන්නට කැමතියි.

ඒ වගේම ගරු කතානායකතුමනි, ඒ කාල පරිච්ඡේදයේ වූ ප්‍රධාන ඉල්ලීමක් තමයි අපි පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ඇති කොට වෙනස් කොට අලුත් මඟක් ගත යුතු බව. ඒ වෙනුවෙන් රජය ඇති කළ කාරක සභා ක්‍රමය උපරිම ක්‍රියාකාරී බවට පත් කරන්න 2023 වසර පාර්ලිමේන්තුව කටයුතු කරයි කියන එක අපි මේ අවස්ථාවේදී යළිත් ප්‍රාර්ථනය කරනවා. කතානායකතුමා විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙන එම කාරක සභාවල්වල කටයුතු එලෙසම සක්‍රීයව කරගෙන යාමට පාර්ලිමේන්තුවේ සියලුම පාර්ශවයන්ගේ සහයෝගය අපි මේ අවස්ථාවේදී අපේක්ෂා කරන බව සඳහන් කරන්ට කැමැතියි.

ඒ වගේම පසුගිය කාල පරිච්ඡේදයේ ඇති වුණු මහත් වූ ආණ්ඩුක්‍රම ආන්දෝලනය වූ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කොට එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති, ප්‍රතිපාදනයක් ඇති කිරීම සඳහා වු ක්‍රියාවේදී 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඇති කළ යුතු ක්‍රියාමාර්ග සාර්ථකව ඉදිරියට ගෙන යන්නට රජය කැප වී තිබෙන බවත්, ඒ වෙනුවෙන් සියලු පාර්ශවයන් ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට එකඟතාවයෙන් හා කැපවීමෙන් එක්ව ක්‍රියා කරන ලෙස පාර්ලිමේන්තුවට මම යළිත් වරක් ආයාචනය කරන්න කැමැතියි.

එපමණක් නොව පාර්ලිමේන්තුවේ හා සර්ව පාක්ෂික එකඟතාවයෙන් ඇති කරන ලද ජාතික සභාව, සියලු පාර්ශවයන් නියෝජනය වන පරිදි ඇති කරන ලද ජාතික සභාව ද එලෙස සක්‍රීය කිරීමට රජය හා විපක්ෂයේ සියලු දෙනාගේ සහයෝගය ගරු කතානායාකතුමාගේ මූලාසනයෙන් ඇති වී ඇති කොට තිබෙන ජාතික සභාවේ කටයුතුත් එලෙස ඉදිරියට ගෙනියන්න සහභාගීත්වය හා සහයෝගය ලබා දීම ඉතාම වැදගත් බවත් මේ අවස්ථාවේ සඳහන් කරමින් අපේ රටේ අනාගතය ගොඩනගන්නට අපේ රටේ ආර්ථිකය වඩාත් ශක්තිමත් භාවයට පරිවර්තනය කිරීම සඳහා ජාත්‍යන්තරව ඇති කරගෙන තිබෙන සාකච්ඡා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත් ඒ වාගේම අපට ආධාර දෙන කණ්ඩායම්, රටවල් ගණනාවක් විශේෂ ඉන්දියාවත්, මහජන චීනය සමඟ ඒ කරගෙන යන සාකච්ඡාවල් සාර්ථකව ප්‍රතඵල ගෙන ඒමට හැකි ක්‍රියාමාර්ගයට අප කැප වී තිබෙනවා.

එය ඉතා ඉක්මණින් සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහයෝගය අපි මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙමින් රටේ සියලු පුරවැසියන්ට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු පුරවැසියන්ගේ එහකඟතාවයෙන් අපේ රටේ අනාගතය ගොඩනඟන ඒ ගෞරවාන්විත අභියෝගය ජයගත හැකි ගමනක් සඳහා අපි කටයුතු කරමු. අපේ රටේ මේ වන විට එම අර්බුදයට කර දී ඒ අභියෝග හරහා ගමන් කිරීමට කැප වී සිටින ගොවි ජනතාවත්, ධීවර ජනතාවත් ඒ වගේම අපේ ජාතික ව්‍යාපාරික ජනතාව මූණ දෙන අමාරුකම් මධ්‍යයේ ජාතික ප්‍රජාව ව්‍යාපාරික ප්‍රජාවගේ ද සහයෝගයෙන් මත ඒ ආර්ථික ශක්තිමත්භාවය ඵලදායී අනාගතයකට පරිවර්තනය කරන ආර්ථීක නිෂ්පාදනය, අපනයනයන් ජාත්‍යන්තරව අපට දිනා ගත හැකි අතිරේක මූල්‍ය විදේශ විනිමය දිනා ගැනීමේ කටයුත්තට අපි එක්ව කටයුතු කරමු."