එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ 04ක නායකයන් අද පැවැත්වෙන විධායක සභාවට සහභාගි වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ජාතික කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම් අතාවුල්ලා, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, මහජන එක්සත් පෙරමුණේ නායක නීතිඥ තිස්ස ජයවර්ධන සහ දේශ විමුක්ති පක්ෂයේ ටී. කළංසූරිය විසිනුයි සන්ධාන නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එලෙස ලිඛිතව දැනුම් දී ඇත්තේ.
අද පස්වරු 5ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීමක් පැවැත්වෙන බවට සන්ධාන නායක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පක්ෂ නායකයන් වෙත දැනුම් දී තිබුණා.
එහෙත් විධායක සභා රැස්වීමක් කැඳවීමට බලය ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා වන අමාත්‍ය මහින්ද අමරවීරට පමණක් බවයි එම පක්ෂ නායකයින් සිය ලිපි මගින් පෙන්වා දී ඇත්තේ.
ඒ අනුව අද දින පැවැත්වෙන එම රැස්වීමට තමන් සහභාගී නොවන බව එම පක්ෂ හතරේ නායකයින් විසින් දැනුම් දී තිබෙනවා.
Neth