හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ප්‍රදානය කර තිබෙන ජනාධිපති සමාව බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.
ඒ, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් අද විභාගයට ගත් අවස්ථාවේදීයි.
එම පෙත්සම් විභාගය ගාමිණි අමරසේකර සහ ජනක් ද සිල්වාගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.
ඊට අදාළ ලේඛන දැනටමත් අධිකරණය හමුවේ තමන් විසින් ගොනු කර තිබෙන බවත් එම නීතිඥවරු දන්වා සිටියා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට කර ඇති ඉල්ලීම, කරුණු තහවුරු කිරීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් මරණීය දණ්ඩනය නියම කළ බවයි. එය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අනුමත කර ඇති බවද පෙත්සම්කරුවන් පෙන්වාදෙනවා.
එසේ තිබියදී පිළිගත් නීතිමය පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව ඔහුට පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ බවද පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.
මේ තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් දුමින්ද සිල්වා නිදහස් කරමින් ප්‍රදානය කර ඇති පොදු සමාව බල රහිත කිරිමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා
Neth