අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14 දෙනෙකු සහ එක් සැකකරුවකු ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව එක් එක් සැකකාරිය රුපියල් 10000/- බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළා.
කුරුදුවත්ත පොලිසිය සමග පෙනී සිටි සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් ඊයේ දින කොළඹ නිදහස් චතුරස්‍රයට රැස්වී විරෝධතාවයක් පැවැත්වීමට සූදානම් වූ බව සඳහන් කළා.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ වලට අනුව එම ස්ථානයේ විරෝධතා පැවැත්වීමට නොහැකි බව පොලිසිය විසින් දැනුම් දුන්නද ඔවුන් එය ප්‍රතික්ෂේප කරමින් ප්‍රේමකීර්ති ද අල්විස් මාවත හරහා බෞද්ධාලෝක මාවත කරා පෙළපාලියකින් ගමන් ගත් බවත් සහකාර පොලිස් අධිකාරිවරයා පැවසුවා.
මෙවැනි පෙළපාලියක් පැවැත්වීම සම්බන්ධයෙන් සැකකාර පාර්ශ්වය පොලිසිය දැනුවත් කිරීමක් නොකළ බව පෙන්වා දුන් සහකාර පොලිස් අධිකාරීවරයා එම පෙළපාලිය හේතුවෙන් මංමාවත් වල හා පදිකවේදිකාවේ ගමන් ගත් මගීන් අවහිරයක් සිදු වූ බවත් සඳහන් කර සිටියා.
අනතුරුව ඔවුන් එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට රැස්වී වීදි නාට්‍යයක් පැවැත්වීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළා.
ඉන්පසුව ඔවුන් ජනාධිපතිතුමාගේ නිවස කරා ගමන් ආරම්භ කළ අතර මාර්ග බාධක යොදා එය වැළැක්වීමට කටයුතු කළ අවස්ථාවේදී ඔවුන් පොලිස් රාජකාරිවලට බාධා කළ බවත් සහකාර පොලිස් අධිකාරීවරයා චෝදනා කර සිටියා.
අනතුරුව ඔවුන් කුරුදුවත්ත පොලිසිය ඉදිරිපිටට පැමිණ බිම වාඩි වී මං හරස් කරමින් රාජකාරි කටයුතුවලට බාධා සිදු කළ බවද සහකාර පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් දැනුම් දී සිටියා.
මේ තුළින් ඔවුන් අයුතු ජනරාශිය නැමැති වරද ඇතුළු වරදවල් සිදුකර ඇතැයි පෙන්වා දුන් සහකාර පොලිස් අධිකාරිවරයා ඇප පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ඔවුන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කොට රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එහෙත් පොලිසිය ඉදිරිපත් කළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ තුසිත ගුණසේකර, අතුල රණගල සහ ගුණරත්න වන්නිනායක යන විත්තියේ නීතිඥවරු තම සේවාදායකයින් වර්තමානයේ කාන්තාවන් මුහුණ දෙන දුක් ගැහැට පිළිබඳව වීදි නාට්‍යයක් පැවැත්වීමට කටයුතු කළ බව සඳහන් කළා.
එය ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේ සහතික කොට තිබෙන මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමක් යැයි පෙන්වා දුන් එම නීතිඥවරු තම සේවාදායකයින් කිසිදු අවස්ථාවක නීතිය උල්ලංඝනය නොකළ බවත් පෙන්වා දුන්නා.
තම සේවාදායකයින් කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අනතුරේ හෙළන ආකාරයෙන් කටයුතු කර නොමැති බව පෙන්වා දුන් නිතිඥ ගුණරත්න වන්නිනායක මහතා ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමට පොලිසියට හැකියාවක් නොමැති බවත් 88000 කට අධික පොලිස් නිළධාරීන් බලකායක් සිටියද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට නොහැකි වූ බවත් නීතිඥවරයා සඳහන් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකකාරියන් පිරිස සහ සැකකරු ඇප මත මුදාහැරීමට තමා තීරණය කරන බවයි.
ඉන් අනතුරුව නඩුව නැවත පෙබරවාරි මස 13 වනදා තෙක් කල් තැබුණා.
මෙම නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේ දී පොලිසිය හා විත්තියේ නීතිඥවරු අතර උණුසුම් වචන හුවමාරු වීම් වරින්වර හටගත් අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා දෙපාර්ශ්වයටම දන්වා සිටියේ යම් ප්‍රශ්නයක් තිබේ නම් එය අධිකරණයෙන් පිටතදී විසඳා ගන්නා ලෙසයි.
Neth