Friday, January 30, 2026
Follow Us
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නඩුව දෙසැම්බර් 12 දක්වා කල් යයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත් කළ තිබෙන පැමිණිලි නැවත දෙසැම්බර් මස 12 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා

මෙම පැමිණිල්ල අද අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

එම අවස්ථාවේදී විත්තිකාර සනත් නිශාන්ත ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ චෝදනා පත්‍රය සකස් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින බව සඳහන් කළා.

ඒ සඳහා මාධ්‍ය ආයතන කිහිපයකින් එම ප්‍රශ්නගත ප්‍රකාශයට අදාළ වීඩියෝ දර්ශන ලබා ගැනීමට අවශ්‍ය වේ තිබෙන බවත් ඊට අදාලව නියෝගයක් නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා පෞද්ගලික රූපවාහිනී නාලිකා වලට සහ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ මාධ්‍ය ඒකකය වෙත අදාල විඩියෝ දර්ශණ ලබා දෙන්නැයි නියෝගයක් නිකුත් කළා

දෙසැම්බර් මස එකොළොස් වන දාට පෙර එම වීඩියෝ දර්ශන ලබා දීමට පියවර ගන්නැයි නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු වරයා පැමිණිල්ල නැවත දෙසැම්බර් මස 12 වනදා කැඳවන ලෙසත් නියෝග කළා

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, නීතිඥවරුන් වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුකරයක් ගොනු කර ඇති බවත් එහි සැකකරුවකු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත නම් කර ඇති බවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදා හළ බවත් පෙත්සම් වල සඳහන් වෙනවා.

එසේ තිබිය දී අගෝස්තු මස 23 වන දා පොදුජන එක්සත් පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වගඋත්තරකාර සනත් නිශාන්ත අමාත්‍යවරයා අරගල කරුවන්ට මහේස්ත්‍රාත්වරු විසින් ඇප ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළකොට ඇතැයි ද පෙත්සම් වලින් චෝදනා කර තිබේ.

එම ප්‍රකාශය තුළින් වගඋත්තරකාර සනත් නිශාන්ත අමාත්‍යවරයා අධිකරණයේ ගෞරවය හෑල්ලුවට ලක් කර නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක් කොට ඇතැයි චෝදනා කරන පෙත්සම්කරුවන් අදාළ ප්‍රකාශය හරහා මහජනතාව අධිකරණය කෙරෙහි තබා තිබෙන විශ්වාසය බිඳ හෙලීමට ක්‍රියා කොට ඇති බවත් සඳහන් කර සිටියා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ සනත් නිශාන්ත අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දු කොට ඔහුට සුදුසු දඩුවම් පමුණුවන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

Neth