Friday, January 30, 2026
Follow Us
2023 අයවැය ලබන 14 වනදා මැති සබයට

2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් 14 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදීයි.

ඒ අනුව නොවැම්බර් 14 වනදා පස්වරු 1යි 30ට මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ සමාරම්භක කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 15 වනදා ආරම්භ කිරීමටත් දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා පස්වරු 5ට පැවැත්වීමටත් මෙහිදී තීරණය කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වනදා ආරම්භ වනවා. එහි ඡන්ද විමසීම දෙසැම්බර් 08 වනදා පස්වරු 5ට පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරකසභාවේදී එකගතාව පළ වී තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් 14 වනදා සිට දෙසැම්බර් 08 වනදා දක්වා ඉරිදා සහ පෝය දින හැර සතියේ අනෙක් සියලු දිනවලදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

Neth