ජීවිත තර්ජන හේතුවෙන් අධිකරණයට යන්න බෑ – ගෝඨා කියයි
2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් පැහැර ගෙනයාම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයේදී සාක්ෂි සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවිය නොහැකි බවට දී ඇති අභියාචනාධිකරණ තීන්දුවට බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යළි නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.
එම පෙත්සම අද (19) ගාමිණි අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතීසි යවා තිබෙන බව දන්වා සිටියේය.
එහෙත් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටීමක් සිදුවුයේ නැහැ.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ වෙත යළි නොතිසි නිකුත් කරන මෙන් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම යළි දෙසැම්බර් මස 15 වනදා කැඳවන ලෙස නියෝග කළේය.
2011 වසරේ දෙසැම්බර් මස 10 වනදා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත් කළ හබයාස් කොපුස් පැමිණිල්ලකට අදාළව සාක්ෂි දීම සඳහා එවක ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට 2019 වසරේ සැප්තැම්බර් මස 27 වනදා පෙනී සිටින ලෙස දන්වා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබුණි.
තමන්ට පවතින ජීවිත තර්ජන හේතුවෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දිය නොහැකි බවත් එබැවින් යාපනය මහෙස්ත්‍රාත්වරයාගේ තීරණය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කළේය.
එය විභාග කළ අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ හෙයින් ඔහුව සාක්ෂියට කැඳවිය නොහැකි බව තීන්දු කර තිබුණි.
අභියාචනාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැනි බවත් ගෝඨාභය රාජපක්ෂ වර්තමානයේ ජනාධිපති ධුරයෙන් ඉවත් වී සිටින හෙයින් ඔහු සාක්ෂියට කැඳවිය හැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබේ.
Aruna