පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩුවේ විභාගය අද දින සිට සති 10 කට කල් තබන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයාට අභියාචනාධිකරණය අද නියම කළා.
එහෙත් පැමිණිල්ලෙන් ඉල්ලා සිටි පරිදි අදාළ නඩු විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කිරීම අභියාචනාධිකරණය මෙහිදී ප්‍රතික්ෂේප කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අද දින සිට සති 10 ක කාල සීමාව තුළ පෙත්සම්කාර මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අගතිගාමී නියෝග නිකුත් නොකරන ලෙස අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරායට නියෝග කළා.
මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ලබා දුන්නේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොලගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින්. අනතුරුව නඩු විභාගය දෙසැම්බර් මස 10 වනදා කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණය, මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසටයි නියෝග කළේ.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු සෝභිත රාජකරුණා කියා සිටියේ මෙම නඩුකරයේ පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු පිරික්සීමේදී විසඳාගත යුතු නීතිමය තර්ක කීපයක් අධිකරණය හමුවේ මතුවී තිබෙන බවයි. මෙම සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ද මූලික අයිතිවාසිකම් නඩු විභාගයක් පැවැත්වෙන බවත් මෙහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නා.
එහෙත් පෞද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන්ට හැකියාවක් තිබෙන බව අධිකරණය විසින් ද පිළිගන්නා බවයි විනිසුරුවරයා එහිදී පෙන්වා දුන්නේ. එහෙත් පෙත්සමෙන් ඉල්ලා ඇති පරිදි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙත්සම්කරුට එරෙහිව පැවැත්වෙන අදාළ පුද්ගලික පැමිණිල්ල පිළිබඳ විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් නොකරන බව මෙහිදී සඳහන් කර තිබෙනවා.
කෙසේවෙතත් අභියාචනාධිකරණය හමුවේ පැවැත්වෙන නඩුකරයේ විසඳා ගත යුතු නීතිමය තර්ක පිළිබඳ තීරණයක් ගන්නා තෙක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුව ඉදිරියට සිදු කර ගෙන යාම අගති දායක විය හැකි බව විනිසුරුවරයා එහිදී පෙන්වාදී තිබෙනවා. ඒ අනුවයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන වගඋත්තරකරුවන්ගේ පුද්ගලික පැමිණිල්ල මත වූ විභාගය අද දින සිට සති 10 කට කල් දමන ලෙස අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයාට නියෝග කළේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් සිරිල් ගාමිණී පියතුමා සහ එම ප්‍රහාරයෙන් වින්දිතයෙක් වූ බවට පත් වූ පුද්ගලයකු විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විත්තිකරු කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
එම පුද්ගලික පැමිණිල්ලට අදාළව කරුණු දැක්වීම සඳහා අද දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් ඉකුත් දා මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත සිතාසි ද නිකුත් කළා. අභියාචනාධිකරණය අද මෙම නියෝගය නිකුත් කළේ එම සිතාසිය බල රහිත කරන ලෙස ඉල්ලා මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙමින්.
Neth