Saturday, January 31, 2026
Follow Us
ශ්‍රිලනිප සංවිධායකවරුන්ගේ හමුවෙන් පක්ෂයේ ජාතික සංවිධායක හැලෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ගේ රැස්වීමට පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට මෙතෙක් ආරාධනා කර නොමැති බව වාර්තා වනවා. පක්ෂයේ සියලු ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් සහභාගී වන මෙම රැස්වීම අද පස්වරු 2ට ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

මේවනවිට පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම දෙකඩ වී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. ඒ අනුව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක් කණ්ඩායමක් සහ අනෙක් කණ්ඩායම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සමග එක්ව සිටිනවා.

දයාසිරි ජයසේකර, ශාන් විජේලාල් ද සිල්වා සහ සාරථී දුෂ්මන්ත මිත්‍රපාල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටින බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරියේදී අමාත්‍යධූර භාර ගැනීමට නියමිත බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් පළ කළා. ඒ, මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

Neth