Saturday, January 31, 2026
Follow Us
අලුත් පක්ෂයක් හදන්නැයි රනිල්ගෙන් නාමල්ට උපදෙස්

බැසිල්ගේ තැන නාමල්ට


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ දිනවල සිටින්නේ ඉදිරි මැතිවරණවලට මුහුණ දීමේ පෙර පුහුණුවීම්වලය. පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ඇමෙරිකාව බලා යාමට පෙර සාකච්ඡාවක් කැඳවූයේය.

නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න හා ජයන්ත කැටගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඊට එක්වූහ. ‘‘අපි මේ වෙනකොට දිස්ත්‍රික් සංවිධාන එක්ක සාකච්ඡා කරලා ඉවරයි.

දැන් ආසන මට්ටමින් ගිහිල්ලා කතා කරන්න’’ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ මෙතෙක් තමන් පැලඳ සිටි පක්ෂයේ ජාතික සංවිධායක ඔටුන්න නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාට දෙමිනි.

ඒ තාවකාලිකවය. විදේශගත වීමෙන් පසු දෙසැම්බර් මාසයේදී බැසිල් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ආසන මට්ටමින් සාකච්ඡා සූදානම් කිරීමේ වගකීම පැවැරුණේ රෝහිත අබේගුණවර්ධන හිටපු ඇමැතිවරයාටය. ‘‘නාමල් මම එනකම් වැඩ ටික බලන්න. මේ කට්ටිය උදව් කරයි.’’

බැසිල් රාජපක්ෂ බාප්පා නාමල් රාජපක්ෂ පුත්‍රයාට වගකීම් පවරමින් සාකච්ඡාව අවසන් කළේය.

කෙසේ වෙතත් පොහොට්ටුව යළි නගා සිටුවීමේ වගකීම ගත් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග කතාකළේ ඇමැති ධුර ගැනීම සම්බන්ධයෙනි.

‘‘ඔයාගේ තාත්තා මොකද කළේ 2015 වසරේදී. පැරදුණාම නව පක්ෂයක් හදලා බලයට ආවා.

ඔයත් ඒ වැඩේ පටන් ගන්න.’’ ජනාධිපතිවරයාගේ දේශපාලන උපදේශය විය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාට ඇමැති ධුරයක් දිය යුතු බවට පොහොට්ටු මන්ත්‍රිවරුන් පිරිසක් යෝජනා කරන්නේ මේ අතරවාරයේදීය.

එහෙත් ජනාධිපතිවරයා හා මන්ත්‍රිවරයා අතර පැවැති සාකච්ඡාවකදී යෝජනා වී ඇත්තේ දකුණු පළාත සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළේ වගකීමක් ඔහු භාර ගැනීමටය.

Aruna