Saturday, January 31, 2026
Follow Us
හිටපු ජනපති සිරිසේනට නිවසක් පිරිනැමීමට එරෙහිව පෙත්සම් විභාගය අවසන්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ පදිංචිව සිටි කොළඹ, පැජට් පාරේ පිහිටි නිවස විශ්‍රාම යාමෙන් පසුවත් ඔහු වෙත ලබාදීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.

ප්‍රියන්ත ජයවර්ධන, ගාමිණි අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

එහිදී පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.

අනතුරුව පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.

පෙත්සම ඉදිරිපත් කර තිබුණේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින්.

පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ සඳහන් කර සිටීයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ ඔහු වාසය කළ කොළඹ පැජට් පාරේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසු වත් ඔහු වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැනි බවයි.

එම නිවස පැවරීමට අදාළ කැබිනට් තීරණයද සම්මත කෙරුණේ මෛත්‍රිපාල සිරිසේන මහතා නායකත්වය දැරූ කැබිනට් මණ්ඩල රැස්වීමකදී යැයි චෝදනා කළ පෙත්සම්කරුවන් එම ක්‍රියාව තුළින් හිටපු ජනාධිපතිවරයා පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා

Neth