නව ත්‍රස්ත විරෝධි පනතක් ගෙන ඒමටත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවයන් සහිතව කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් සියලු පක්ෂ වෙනුවෙන් ලබා දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එසේ සිදු නොවන්නේ නම් ජනමත විචාරණයක් මගින් රටේ අදහස විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. දේශපාලන පක්ෂවලට මුවාවී මෙම කරුණු සදහටම කල් දැමිය නොහැකි බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අමෙරිකානු නියෝජිත ආයතනයේ පරිපාලන නිලධාරී සමන්තා පවර් සමග අද පැවැති සාකච්ඡාවේදීයි.
මේ අතර විදෙස් වෙළෙඳපොළ පදනම් කරගත් තරඟකාරී වෙළෙඳපොළ ආර්ථිකයක් සහ අපනයන ආර්ථිකයක් වෙත ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සකස් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. දකුණු ආසියාවට අග්නිදිග හා නැගෙනහිර ආසියාවට වෙළෙඳපොළ ආර්ථිකය පුළුල් කළ හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
කර්මාන්ත, කෘෂිකර්මාන්ත සහ අනෙකුත් ක්ෂේත්‍ර සඳහා තාක්ෂණ නවීකරණය සිදු කරන බවත් ඒ ඔස්සේ ද දේශීය කර්මාන්තකරුවා සහ ගොවි ප්‍රජාව නවීන ලෝකයට ගැළපෙන පරිදි තාක්ෂණයෙන් සවිමත් කිරීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමන්තා පවර් හමුවේ සඳහන් කළා.
2048 වන විට ශ්‍රී ලංකාව සමෘද්ධිමත් ජාතියක් බවට පත් කිරීමේ අරමුණින් 2023 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත 25 වසරක වැඩසටහන වෙනුවෙන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ සහාය අත්‍යාවශ්‍ය බව ද ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කර තිබුණා. ශ්‍රී ලංකාව තරඟකාරී අපනයන වෙළෙඳපොළ කෙරෙහි අවධානය යොමු කරන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහා කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය වෙනුවෙන් ස්කොට්ලන්ඩ්යාඩ් සහාය ගැනීමට ද කටයුතු කරන බවයි ජනාධිපතිවරයා එම හමුවේදී පැවසුවේ.
මේ අතර ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ආර්ථික න්‍යාය පත්‍රය අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කළයුතු බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් එහිදී ජනාධිපතිවරයා හමුවේ පවසා තිබුණා. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සඳහා එක්සත් ජනපදය සිය ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කර දීමට සහතික වන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
වත්මන් ආර්ථික අභියෝගය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත යථාතත්ත්වයට පත් කර ගනිමින්, යළි ගොඩනැගීමට අමෙරිකාවේ සහාය තවදුරටත් ලබා දෙන බව ද සමන්තා පවර් සහතික වී තිබෙනවා.
Neth