Sunday, February 01, 2026
Follow Us
ජනාධිපති සාටකේ අයින් කළාට වැඩක් නෑ ගමේ මිනිස්සුන්ට තුන්වේල කන්න නැත්තං – නාමල්

අරගලකරුවන් සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ පිළිවෙත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අනුගමනය කළේ නම් වත්මන් අද රට මුහුණ දී ඇති අවාසනාවන්ත තත්වය උදා නොවීමට ඉඩ තිබූ බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

රටපුරා ප්‍රචන්ඩත්වය පැතිරවූ පුද්ගලයන්ට, සමාජ ජාලා මාධ්‍ය හරහා ගිනිතියන්න, මරන්න ජනතාව පෙළඹවූ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා අසමත් වූ බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා. වත්මන් ජනාධිපතිවරයා ප්‍රචණ්ඩකාරීන්ට එරෙහිව නොබියව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවද ඔහු පවසනවා.

සිස්ටම් එක වෙනස් කිරීම සඳහා පුද්ගලයන් මාරු කිරීම සාර්ථක ක්‍රමයක් නොවන බව අද රටම තේරුම් ගෙන ඇති බවත්, ඔලුගෙඩි මාරු කිරීම වෙනුවට ක්‍රමය වෙනස් කළයුතු බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. ගමේ අහිංසක ජනතාව බයිසිකලයෙන් ගමන් බිමන් යද්දී ජනාධිපතිවරයා තනි වාහනයක් පමණක් භාවිතා කිරීමට තීරණය කිරීමන් කිසිදු වෙනසක් සිදු නොවන බවත්, රටේ ජනතාවට තුන්වේල සපයා ගත නොහැකි නම් ජනාධිපතිවරයා සාටකය අතහැරීමෙන් කිසිදු වෙනසක් නොවන බවත් නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

දේශපාලන වශයෙන් යම් පසුබෑමකට ලක්ව සිටින නමුත් ජනතාව ඉල්ලන සැබෑ වෙනස වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පොදුජන පෙරමුණ යළිත් නැගී සිටින බවයි නාමල් රාජපක්ෂ මහතා දැදිගමදී ප්‍රකාශ කළේ.

LNW